උරුසිමොටා

ඉබ්බා අද නං පොඩි කුණ්ඩලීන යෝග පාරක් දාලා ආපහු හය වසරට යන්නයි හදන්නෙ(මේ දවස් වල කිය කිය හිටියේ A/L කාලෙ කතානේ).

ඉබ්බගේ ලොකු අක්කගේ නම යකබණ්ඩා. පොඩිකාලෙ එයා යකා වගේ(තාමත් ටිකක් එහෙම තමා. දැං ඒ යහපත් වැඩ වඩා මොඩනයිස්ඩ් ආකරයකට යකබණ්ඩගේ පොඩි පුතා ඉදිරියට ගෙන යනවා 😛 ). පොඩි අක්කා පුහුලං බට්ටී. ඉබ්බගේ ලොකු අම්මාගේ පොඩිම පුතා උරුසිමොටා. උරුසිමොටා ඉබ්බට වඩා අවුරුදු 4ක් ඉතර බාලයි. උරුසිමොටා ඉබ්බට කියන්නේ තේ කොළ මුල්ල කියලයි. උරුසිමොටාලා ඉන්නේ කළුතර.ඉස්සර ඉස්කෝලෙ නිවාඩු දීපු ගමං උරුසිමොටා එදාම හවස එනවා ඉබ්බලගේ ගෙදර නවතින්න. මාසයක්ම ඉඳලා ඉස්කෝලෙ පටංගන්න කළිං දවසේ තමා උරුසිමොටා ගෙදර යන්නේ.ඒ කාලේ උරුසිමොටා දෙක වසරේ ඉතර ඇති. හවසට කට්ටියම සෙල්ලං කරළා යකබණ්ඩගෙයි පුහුලං බට්ටිගෙයි කාමරේට ඇවිත් ෆෑන් එක දාගෙන මහන්සි නිවාගන්නවා.කාමරේ තිබ්බා උස කන්නාඩියක්.උරුසිමොටා පුරුද්දක් හැටියට කන්නාඩිය ඉස්සරහට වෙලා එකේක විකාර කරනවා.ඉබ්බගෙ අම්මාට ඒ දවස් වල නිවියා ක්‍රීම් මේනියාවක් තිබ්බා.කෑමට පෙර සහ කෑමට පසු වශයෙනුත් අම්මා නිවියා ක්‍රීම් මූණ පුරා ගාගන්නවා 🙂 .අම්මගේ නිවියා මේනියාව දන්න රට ගිහිං එන නෑදෑයෝ පවා ඒ දවස් වල අනිවාර් යයෙන් තඩි නිවියා ක්‍රීම් එකක් ගෙනත් දෙනවාමයි.ඔන්න දවසක් දාඩිය පෙරාගෙන ආපු උරුසිමොටාට කන්නාඩි මේසෙ උඩ තිබිලා නිවියා එකක් අහු වුනා.දැං උරුසිමොටා නිවියා එක ඇරලා හොඳ තලියක් උලාගන්නයි කල්පනාව.මේ වෙලාවේ යකබණ්ඩට හොඳ නුවණක් පහළ වුනා.

යකබණඩා: හා…හා…වොෂ් එකක් දාලත් නෑ නේද?දුවල ගිහිං ඇඟ හෝදං එන්න. ඊට පස්සෙ ඕක දෙන්නං.

උරුසිමොටාත් ඉතිං පොඩියිනේ. ටක්ගාලා ගියා ඇඟහෝදගෙන එන්න.ගිය අතරෙදි යකබණඩා මරු වැඩක් කළා.යකබණ්ඩා ගත්තා අම්මගේ ඉවර වෙච්ච නිවියා ටින් එකක්. අරගෙන ඒකේ බාගයක් ඉතර පිරෙන්න දැම්මා වින්ටර්ජිනෝ.දෙකම ටිකක් එක පාටනේ.දාලා කන්නාඩි මේසෙ උඩිං තියලා හොඳ නිවියා එක හැංගුවා.විනාඩි 10කිං 15කිං ඉතර උරුසිමොටා එකේක විකාර කර කර එනවා නිවියා උලාගන්න.දැං නිවියා ටින් එක තියනවා කන්නාඩි මේසෙ උඩ.උරුසිමොටා ටින් එක ගත්තා.ඇරියා ටින් එක.අතට ගත්තා හෙන තලියක්(සුවඳ බලන්නවත් උරුසිමොටාට සිහියක් තිබ්බෙ නෑ.යකබණ්ඩයි,පුහුලං බට්ටියි, ඉබ්බයි හිනාව තද කරගෙන බලං ඉන්නවා).දෙඅත්ලේ හොඳට උලාගෙන මූණ පුරා ගාගෙන ගාගෙන ගියා.උරුසිමොටා තත්පර දෙක තුනක් කන්නාඩියෙන් බලං හිටියා.මූණ අත් දෙකෙං වහගත්තා.බුදු අම්මෝ! ගාගෙන කාමරේ පෙරලගෙන දිවුවා.යකබණ්ඩයි, පුහුලං බට්ටියි, ඉබ්බයි හොඳ හැටි හිනාවුනා.ඊට පස්සෙ නං උරුසිමොටා කන්නාඩිය පැත්ත පලාතටවත් ගියේ නෑ 😀 .

තව දවසක් ඉබ්බගේ තාත්තා කිවුවා උරුසිමොටාට පුතා, ගිහිං ෂැම්පූ බෝතලේ අරං එන්න කියලා.උරුසිමොටා කියලා ඉවරවෙන්නත් කලිං ගියා ගේන්න.ටික වෙලාවකිං උරුසිමොටා ෂැම්පු බෝතලේ ගෙනත් දුන්නලු.බෝතලේ ටිකක් ලොකු වැඩියි වගේලු.තාත්තා බැලුවලු මේ මොකෝ මේ කියලා.බැලින්නං කොල්ලා බාත්රූම් එක මදින හාර්පික් බෝතලේ ගෙනත් දීලාලු බාප්පගේ ඔළුවේ ගාන්න(ගෑවනං එහෙම ඉබ්බගේ තාත්තාගේ කොණ්ඩේ ගිහිං මෙලහට සෑහෙන කල් 😛 ).ඊට පස්සෙ උරුසිමොටාට හාර්පික් කියලත් කාර්ඩ් එකක් වැටුනා 🙂 .

උරුසිමොටාගෙ ඇඩ්වෙන්චර්ස් තව සෑහෙන්න තියනවා.දවසක් මොන්ටිසෝරි යන කාලෙ උරුසිමොටා උදේ ටූත් බ්‍රෂ් එකත් කටේ ගහගෙන උරුසිමොටාගෙ පොඩි අයියා, නුග නට් එක්ක කොට්ට පොර ගේම් එකක් ගියාලු.කොට්ට පොර ගේම් එක නැගලා ගිහිං නුග නට්ගේ දක්ෂ ප්‍රහාරයකින් උරුසිමොටා බිම ඇදවැටුනාලු.උරුසිමොටාගේ ටූත් බ්‍රෂ් එක හක්ක පළාගෙන කන ගාවට ගිහිං නැවතුනාලු.බ්‍රෂ් එක ගන්න නාගොඩ හොස්පිටල් එකේ දොස්තර මහත්තයා ඔපරේෂන් එකකුත් කළාලු.ඒකෙං පස්සෙ උරුසිමොටාට කාර්ඩ් එකක් වැටුනා බුරුසු කියලා 😛 .තාමත් නුග නට් උරුසිමොටාට කියන්නේ කෝ මේ බුරුසු කොළු කියලයි.

උරුසිමොටා ශිෂ්‍යත්තෙ පාස් වෙලා ලොකු නමට ගියේ. A/L කරනකංම උරුසිමොටා හිටියේ ඉබ්බලගේ ගෙදර.උරුසි මොටා අළුත් ඉස්කෝලෙට ගිය ගමං ඉබ්බා හවුසස් ගැන ඇහුවා.

ඉබ්බා: ඕගොල්ලංගේ ඉස්කෝලෙ හවුසස් කීයක් තියනවද?

උරුසිමොටා: හතරයි

ඉබ්බා: මොනාද ඒවෑ නං?

උරුසිමොටා: ජේම්ස්, අ…කේර්, ම්…හප්, ටුයි.

ඉබ්බා කල්පනා කළා යකෝ මුංගේ ඉස්කෝලෙ ජපානෙ හිරෝහිතෝ අධිරාජ්‍යයාවත් දාපු එකක්ද කියලා. ජේම්ස්, කේර්,හප්,ටුයි. තුම්මුල්ලේ ඉස්කෝලෙවත් නැතුව ඇති මෙහෙම අප්සට් හවුසස් 4ක් කියලා ඉබ්බට හිතුනා.කොහොම වුනත් උරුසිමොටා ඒ කාලේ ටොම් පච අත අරිනවා ගේමක් නැතුව.ටික වෙලාවකිං ඉබ්බට තේරුනා මේක මොටාගේ තවත් එක් බොරුවක් වග.ඒත් විනාඩි කීපෙකට හරි උරුසිමොටා ඉබ්බව ඇන්දුවා 🙂 .

ඉස්සර උරුසිමොටාගෙ පොඩි අයියා නුග නට්ගෙයි ලොකු අයියා මයිනාගෙයි ඔලුවේ කපුටෝ කොටලා වගේ කොණ්ඩේ තැනිං තැන නෑ.ඇයි කියලා ඇහුවාම උරුසිමොටා සෙල්ලං බඩු වල තිබිච්ච බැට්‍රි කෑලි ගලෝලා ප්‍රහාර එල්ල කරලා ඔළු පැලිච්ච මාර්ක් තමා ඒ.ලොකු අම්මාට ඉන්නේ කොල්ලොම තුන් දෙනෙක්.ගෙදර නිකං යකුන් නැටූ පිටිය වගේ 😛 .දවසක් හොඳ වැඩක් වෙලා තිබ්බා.උරුසිමොටාගේ ලොකු අයියා, මයිනා, මොකක්දෝ කරලා ඉබ්බගේ මහප්පාට මළ පැනලලු.මයිනට නෙළන්න මහප්පා එලෝගෙන ආවාලු.මයිනා මැදසාලේ මේසෙ වටේ දුවන නිසා අල්ලගන්නත් බෑලු.බැරිම තැන මහප්පා එළියට ගිහිං ගඩොල් බාගයක් අරං ආවාලු.

නැවතියං, ගහනවා කිවුවලු.

මූ නෙමේ නවතින්නේ.මහප්පා හොඳටම මළ පැනලා කෙලලා ඇරියලු.මයිනා ඔළුව පාත් කළාලු.

සලබලාං…

කැබිනට් එකේ වීදුරුව කුඩේ කුඩු වුනාලු.ඉන්න යක් පැටවු තුන්දෙනා මදිවට යක් තාත්තත් ගේමට බැහැලලු.ලොකු අම්මා බනිනවලු හෝ ගාලා අලි මදිවට හරක් කියලා 😀