උගත් කමට සරිලන රැකියාවක් ලැබුනෙ නැතෙයි?

ඔන්න ඉතිං ඉබ්බත් විශ්වවිද්‍යාලෙ ගිහිං ඉවර වෙලා හා හා පුරා කියලා රස්සාවකට ගියා. මේක ඉතිං මෘදුකාංග රස්සාවක්. විශ්වවිද්‍යාලෙ ගිය විදියටම තමා ඇඳුම පැළඳුම. ටී ෂර්ට් එකයි ඩෙනිමයි වෙනසකට කියල තිබ්බෙ බාටා බෝල බෝල රබර් සෙරෙප්පු දෙක වෙනුවට සැන්ඩ්ල්ස් දෙක. ඒ මදිවට ඉබ්බා අර ඒ දවස් වල තිබ්බ පොඩි පටිය වගෙ පිටේ එල්ලන් යන බෑග් එකකුත් අරගෙන තමා රස්සාවට ගියේ. රස්සාව කරන කොම්පණියෙන් උදේ හවා ට්‍රාන්ස්පෝර්ට් දෙනවා. හැබැයි ඒක ඉබ්බා ඉන්න තැනින්ම ගියේ නෑ. පොඩ්ඩක් මෙහායින් බැහැලා හෝල්ට් තුනක් ඉතර පයින් යන්න ඕනෙ.

ඔන්න සුපුරුදු පරිදි ඉබ්බා හවස 6.20ට ඉතර බැස්සා වෑන් එකෙන්. අඩි කීපයක් යනකොට කවුදෝ පිටි පස්සෙන් සූ සූ ගෑවා. ඉබ්බා ඒ ලෙවල් කරන කාළෙ කුඩු කාරයෙක් ඉබ්බව නුගේගොඩදි සුද්ද කළා සූ සූ ගාලා. ඒක නිසා බයටම ඉබ්බා බැළුවෙ නෑ කවුද මේ සූ සූ ගාන්නෙ කියලා. ටික වෙලාවකින් අප්පුඩියකුත් ගැහුවා. ඉබ්බ නෙවෙයි බැළුවේ. බීරා වගෙ යනවා දැං. මෙන්න එකපාරට කියාපි මේ ළමයෝ කියලා. ඒ පාර නම් තලතුනා කටහඬක්. ඉබ්බා නැවතුනා ඒ පාර. නැවතිලා බැලුවා පිටිපස්ස. හප්පේ, ස්වාමීන්වහන්සේ නමක්. බොහොම දුරබැහැර කෙනෙක් පාටයි. බැලූ බැල්මට පෙනුනා බොහොම දුක් කම්කටොලු විඳලා ඇති පාට. ස්වාමීන්වහන්සේ අඩිය ඉක්මන් කරළා එනවා ඉබ්බව අල්ලගන්න.

ස්වාමීන්වහන්සේ: මේ ළමයෝ නුගේගොඩට යන්න බස් එක ගන්නෙ කොතනින්ද?

ඉබ්බා: ආ හාමුදුරුවනේ, මාත් එක්ක මෙහෙම යමු. තව ඉස්සරහ තියෙන්නෙ ඔන්න ඔතනින් හැරුනාම. මම පෙන්නන්නං.

ස්වාමීන්වහන්සේ දැං ඉබ්බා එක්ක ඇවිදගෙන යනවා.

ස්වාමීන් වහන්සේ: ඔය ළමයා තාම ඉගනගන්නවා වෙන්ටෑ?

(යකෝ මම මෙ කැම්පසුත් ගිහිල්ලා රස්සාවකටත් ගිහිං ඉන්නෙ. ඉබ්බට පොඩ්ඩක් කැම්පස් උණත් ආයි මතක් වුනා. ස්වාමීන් වහන්සේ මගුලක් කතා කරනවා)

ඉබ්බා: නෑ හාමුදුරුවනේ, මම විශ්වවිද්‍යාලේ ගිහිං ඉවර වෙලා මේ රස්සාවක් කරනවා.

හාමුදුරුවෝ ටුක් කාලා නැවතුනා (හරියටම අර මේට්‍රික්ස් ෆිල්ම් එකේ වගේ. දැං කැමරා එක අපි දෙන්නා වටේට කැරකෙනවා. කැමරා එක වමට 60ක් ගිහිං ආයි දකුණට 120ක් යනවා.) ස්වාමීන්වහන්සේ බැලුවා ඉබ්බගේ පාදාන්තේ ඉඳලා කේෂාන්තේ දක්වා මාර බැල්මක්. ආයි ඒක උඩ ඉඳලා පහළට රිපීට් කළා.

ස්වාමීන්වහන්සේ: ආහ්, ඉතිං ළමයෝ උගත් කමට සරිලන රැකියාවක් තවම ලැබුනෙ නැතෙයි?

(කිරි අප්පට බල්ලො පැනපි. දීපංකො උත්තර). ඉබ්බා බැලුවා ළඟ පාත කාණුවක් වත් කපලා තියනවද කියලා බහින්න. නොදකිං. කොහෙද මේ නගරසභාව අපිට ඕනෙ තැන්වල කාණු කපන්නෙ නෑනෙ. ස්වාමීන්වහන්සේට ඉතිං සොෆ්ට්වෙයාර් රස්සා ගැන කියලා දෙන්න බැරි නිසා ඉබ්බා කට පියාගෙනම ස්වාමීන්වහන්සේව බස් හෝල්ට් එකට ඇරලවලා ඉතුරු හෝල්ට් දෙක පයිංම ආවා. ඇයි යකෝ ස්වාමීන්වහන්සේ එක්ක බස් එකේ නැගලා තව හෝල්ට් දෙකක් ගියොත් එහෙම මොනවා අහයිද දන්නෙ නෑ නෙ.කලිසමත් නැතුව ගෙදර යන්න වෙන පොටක් තමා.

මාළු වගේම තමා, ඉබ්බත් නහින්නෙ කට නිසා 😀

ප්‍රතිචාරයක් ලබාදෙන්න