විජේ, ගහමුද බූරු අතක්?

ඉබ්බලගේ පන්තියේ හැමදාම අඩුම ගානෙ කාර්ඩ් පැක් 2ක් වත් තිබ්බා.එක කාර්ඩ් පැක් එකක් තිබ්බා ඒක අතටම දිය වෙලා.ඔක්කොම ප්‍රින්ට් මැකිලා.කොල ටික ඔක්කොම සුදු පාටයි.ලාවට වෝටර් මාර්ක් වගේ යාන්තං පේන ප්‍රින්ට් එකක කෑලි ටිකක් ඉතරයි කාර්ඩ් වල තියෙන්නෙ.ඒත් කට්ටිය දන්නවා කොලේ මොකක්ද කියලා.පැක් එක අතට ගත්තම කොල 52න් එකක් හරි අඩු නං කට්ටිය ටක් ගාලා කියනවා ඒයි…මේක කොල අඩුයි වගේනෙ බං කියලා. හාරත,කලාබර,රුයිත, ඉස්කෝප්ප,රෙපෝරු,කපෝති ඕවා තමා පන්තිය පිටිපස්සෙං ඇහෙන වචන.පන්තියේ පැක් 2ක් තිබුන දවසක පන්තියේ චන්ඩි සෙට් එක 100, 200 බෙට් දාලා බූරු ගහනවා.අනිත් ඔක්කොමලට එක පැක් එකයි තියෙන්නෙ.ඒක නිසා කට්ටිය අර ජූස් කියලා සෙල්ලමක් තියෙන්නෙ.ඒක ගහලා.සත පනහා, සත 25 තමා බෙට්.

ඊළඟට තිබ්බෙ විනය භාර සෝගාගෙ ෆිසික්ස් පීරියඩ් 2.කට්ටිය කාර්ඩ් ගගහා ඉන්නකොට සෝගා එකපාරම ආවා.චන්ඩි ටික 100, 200 බෙට් ටක් ගාලා සාක්කු වලට දාගෙන පැක් එකත් අතුරුදහං කරලා පොතුත් පෙරළගෙන.අහිංසකයෝ ටිකට සත පනහේ විසිපහේ ඒවා හංග ගන්නයි පැක් එක එකතු කරගන්නයි වෙලා ගියා.කෙළිංම කට්ටිය සෝගට මාට්ටු.

සෝගා: ආ… බූරු ගහනවා නේද? මෙහෙ එනවා මෙහෙ එනවා…කෝ ගන්නවා කාඩ් කුට්ටම.

සෝගා මාල්වයි, ගුජ්ජිකවයි, විජේවයි ඇදගෙන ආවා ඉස්සරහට.මේ ඔක්කොම තත්පර කීපයක් ඇතුලෙ තමා වුනේ.ජූස් ගහපු අනික් කට්ටියේ සීනි කූරා ඇතුලු කීප දෙනෙක්ට ඉන්න තැනට යාගන්නවත් වෙලාවක් ලැබුනෙ නෑ.සීනි කූරා එහෙම දැං බාගෙට ඩෙස්ක් එකකට හෙත්තු වෙලා  ඉස්සරහා වෙන්නෙ මොකක්ද කියලා බලං ඉන්නවා.ඉස්සරහ මුලින්ම ඉන්නේ ගුජ්ජික, ඊළඟට මාල්.ඊටත් පස්සෙ විජේ.පන්තියේ අනික් කට්ටිය මීයට පිම්බා වගේ. අදනං ඉතිං කෙළිංම ඇක්ෂන් මූවි තමා.

සෝගා: තුන් දෙනෙක්ට බූරු ගහන්න බෑනෙ.කෝ අනිත් එකා.

සර් දන්න දන්න ජූස් එකක් නෑනෙ.සර් හිතන විදියට දැං කට්ටිය බූරු තමා ගහලා තියෙන්නෙ.

සෝගා: කවුද අනික් එකා? සර් ගුජ්ජික දිහා බලයි.

ගුජ්ජික: දන්නෙ නෑ සර්.කලබලේට දැං මතක් වෙන්නෙ නෑ.

සෝගා: ආ…ඒකත් එහෙමද? එහෙනං කියන්නෑ නේද? ඉන්නවා වැඩක් කරන්න.

සෝගා වට පිට බලා පන්තිය පිටුපසට ගොස් කොස්ස ගෙන එයි.

සෝගා: කියපං කවුද අනික් එකා…සෝගා ගුජ්ජිකට කොස්සෙං ගහයි.ගුජ්ජික කොසු ප්‍රහාරය වළකන ගමං

කිව්වනෙ සර්…මතක නෑ කියලා(ගුජ්ජිකට මළත් පැනලා)

සෝගා විජේ දෙසට හැරෙයි. විජේ අහිංසකයා.

සෝගා: තමුසෙටත් මතක නැද්ද?

විජේ: මතක නෑ සර්…

සෝගා විජේට කොසු මිටි පහරක් දෙයි.විජේ උඩ පැන අතින් වළකයි.විජේගෙ මූණ චොර වෙලා.සෝගා තවත් පහරක් එල්ල කරන්නට කොස්ස ඔසවයි.

විජේ: ගහන්න එපා සර්… අරයත් ගැහුවා…අරයත් ගැහුවා…

හත්වලාමයි.සර් එකාවයි ඇහුවේ.මෙන්න යකෝ මූ දෙන්නෙක් පෙන්නපි 😀 .සර්ටත් වැඩේ මීටර් නෑ.සෝගට ජයග්‍රාහී හිනාවක් ගියා.

සෝගා: ආ…ඔය එන්නෙ…ඔය මතක් වුනේ.

සර් අලුත් සොයාගැනීම දෙස බලයි.

සෝගා: එනවලා, එනවලා ඉස්සරහට.

ඉබ්බට මතක විදියට ඇලටුයි, හැරියයි වෙන්න ඕනෙ දෙවනියට මාට්ටු වුනේ.හරියටම කවුද කියලා මතක නෑ.

සෝගා: කවුද බූරු කුට්ටම ගෙනාවෙ? ඒකත් මතක නැද්ද?

සෝගා මාල්ට කොසු මිට ඔසවයි.

මාල්: දන්නෙ නෑ සර්. පැක් එක තිබ්බා. අපි ගැහුවා.

සෝගා: ආ…ඒකත් එහෙමද?

සෝගා මාල්ට ගහන්න ඔන්න මෙන්න තියෙද්දි ගුජ්ජික කතා කළා.

ගුජ්ජික: සර්, අපි කට්ටිය සල්ලි දාලයි ගෙනාවෙ.

සෝගා: ආ… ඔය එන්නේ…

සර් හැමෝටම කොසු මිටෙං ආයිත් පාර පාර ගැහුවා.ඊට පස්සෙ කිවුවා ගිහිං ඉඳ ගන්න කියලා.පැක් එක රාජ සන්තක වුනා.තාම සීනි කූරා ඩෙස්ක් එකට බාගෙට හේත්තු වෙලා. සර් දැං සීනි කූරා දිහාවට ඇවිදං යනවා.පන්තියේ කට්ටිය බලං ඉන්නවා ඊගාවට මොකෝ වෙන්නෙ කියලා.සර් කූරගේ ඉස්සරහට ගියා.

සර්: ඇත්ත කියනවා…තමුසෙත් ගැහුවා නේද?

කූරා සිනහා මුසු මුහුණින්. නෑ සර්, මම ගැහුවේ නෑ. සෝගා සර් දන්නවා කූරත් මේ සෙට් එකේ ඉන්න ඕනෙ වග.

සෝගා: හොඳටම ෂුවර්ද?

සර් අත් දෙක අරගෙන සීනි කූරගෙ පපුවට තිබ්බා. නෝන්ඩි හිනාවක් දාලා කිවුවා තමුසෙත් ගහලා තියනවා ඕයි, හා…හා… ගිහිං වාඩි වෙනවා කියලා. කූරත් හිනා වෙවී ගිහිං වාඩි වුනා.

ඊට පස්සෙ කට්ටිය ඉඳලා හිටලා අහනවා විජේ, ගහමුද බූරු අතක් කියලා.

Advertisements

ජැකී චෑං බුදු අම්මෝ ගෑවලු…

ඉබ්බා එකතු වෙච්ච පොඩි පොඩි කතා ගොඩක් ලියන්නයි යන්නේ.

ජැකී චෑං බුදු අම්මෝ ගෑවලු

O/Lවලිං ඉබ්බලගේ ඉස්කෝලෙට ආපු හිත හොඳ කොල්ලෙක් තමා ප්‍රගති. ප්‍රගති හරියට දම්මි සුගත් කතාවෙ(ගොළු හදවත) සුගත් වගේ ඩයල් එකක්.ජෙනුයින් බුවා.දවසක් ෆ්‍රී පීරියඩ් එකක් වෙලාවෙ ප්‍රගති මිනිහා බලපු ෆිල්ම් එකක් ගැන රස කර කර කට්ටියට කියනවා.යාළුවෝ ටික වට වෙලා හුස්ම ගන්නෙත් නැතුව අහං ඉන්නවා.ඒ කාලෙ ඉතිං දැං වගේ හිතුනා, ඩවුන්ලෝඩ් කළා, බැළුවා සීන් නෑනෙ.කතා අහලත් කොච්චර සැනසුනාද?දැං ෆිල්ම් එකේ හොඳම සීන් එකක්.ප්‍රගති මවලා කියනවා.

ප්‍රගති: ජැකී චෑංගෙ ඔලුව ගහේ අත්තක හැප්පුණා.ජැකී චෑං බුදු අම්මෝ ගෑවා.

සීනි කූරත් කතාව අහගෙන හිටියා. ඉබ්බ හිටියේ ඉස්සරහා. ඒ වුනාට ඇන්ටනාව ඒ පැත්තෙ.

සීනි කූරා: නෑ…ජැකී චෑං බුදු අම්මෝ ගෑවෙ සිංහලෙංද?

තත්පරෙනුත් සීයෙං පංගුවයි ගියේ.කූරා නැගිට්ටා.පන්තිය දෙවනත් වෙන්න කෑ ගැහුවා.

සීනි කූරා: ඒයි…අඩෝ…මෙන්න අළුත් ෆිල්ම් එකක් ඇවිල්ලා…ජැකී චෑං සිංහලෙං බුදු අම්මෝ කියලා කෑ ගහන සීන් එකකුත් තියනවලු….ප්‍රගතියා බලලා…

ප්‍රගතියා ලැජ්ජාවෙං ඇඹරෙනවා.පන්තියේ කට්ටිය හිනා වෙනවා.ඊට පස්සෙ ප්‍රගති මොනා කිවුවත් ගොඩ දාන්න බැරි වුනා 🙂 .

හොරර් ෆිල්ම් එක

කාලයක් තිබ්බා කට්ටිය ගෙදරදි බලපු සිරා ෆිල්ම්(ඒ කාලෙ සිරා කියලා හිතං හිටපු) ඉස්කෝලෙ ඇවිත් අනික් සෙට් එකට ෆ්‍රී පීරියඩ් වලදි කියන. ඒ කාලෙ කරපු ඒ වගේ වැඩ මතක් වෙලා දැං නම් හිනාත් යනවා 😀 .දවසක් සීනි කූරා ෆිල්ම් එකක් කියන්න පටං ගත්තා.

සීනි කූරා: මේක මචං හැබැයි හොරර් ෆිල්ම් එකක්

ප්‍රගති: හොර ෆිල්ම් එකක් නැතුව හොඳ එකක් කියපංකෝ

කට්ටිය මොහොතකට නිෂ්ශබ්ධ වුනා.ප්‍රගතියා හොරර්(horror) කියලා වචනයක් ඒ දවස් වල දැනං ඉඳලා නෑ.ඒ නිෂ්ශබ්ධ වෙච්ච ක්ෂණයෙන් පස්සෙ ප්‍රගතියා කම්බස් වුනා.ඊට පස්සෙ කට්ටිය ප්‍රගතියගෙං ඉඳලා හිටලා අහනවා හොරර් ෆිල්ම් එකක් බලමුද කියලා 😛 .

කළුම කළු සුද්දා

හැරියාත් ඉබ්බලගේ පන්තියට ආවෙ O/L වලිං.හැරී ඉස්සර ගිහිං තියෙන්නෙ මීගමුවේ හරිස්චන්ද්‍රෙට.හරිස්චන්ද්‍ර තමා කෙටි වෙලා හැරී වුනේ.හැරියා ඉතිං මීගමුවෙනේ.දවසක් හැරියා සුද්දෙකුගේ කතාවක් කියනවා. රස කර කර.කට්ටිය කට ඇරගෙන කෙළ හලාගෙන අහං ඉන්නවා.

හැරී: සුද්දි මචං සුදුම සුදුයි.ඒකට සුද්දා කළුම කළුයි.

සීනි: කූරා ඈ යකෝ?කළුනං ඌ කොහොමද සුද්දෙක් වුනේ?

හැරියා ඇන ගත්තා 😛 .සීනි කූරා පන්තිය දෙවනත් වෙන්න කෑ ගහනවා.

ඒ…අඩෝ…මීගමුවේ සුද්දෝ කළුයිලු…හෙහ්…හෙහ්… 🙂

හැරියට විනාඩි කීපයක් යනකං කට අරින්නවත් බැරි වුනා.

සීනි කූරගේ ප්‍රියතම විෂය කෙමිස්ට්‍රි. කූරා කෙමිස්ට්‍රි බීලා හිටියේ.ඉබ්බලගෙ ඉස්කෝලෙට කෙමිස්ට්‍රි තරගෙකිං සමස්ත ලංකා පළවෙනි තැන දිනලා දීපු ටීම් එකේ සීනි කූරත් සාමාජිකයෙක්.කෙමිස්ට්‍රි ලැබ් එක තිබ්බෙ සෙක්ෂන් එකේ පහළ කොනේම.ප්‍රැක්ටිකල් වලට මුලිංම ලැබ් එකට දුවගෙන යන්නෙ සීනි කූරා. ලැබ් එක මැද හරියේ කට කැඩුනු ටැප් එකක් තිබ්බා. ඒක ඇරපු ගමං ගානට දොර ගාවට චූස් ගාලා වතුර පාරක් විදිනවා.කූරා මුලිංම ගිහින් එතන වාඩි වෙනවා. එකා එකා දොර ගාවිං එනකොට ටැප් එක ඇර ඇර වහනවා. ප්‍රැක්ටිකල් පටංගන්න කොට ඔක්කොමලා බාගෙට නාලා ඉන්නේ :D. ඊට පස්සෙ කූරා චූෂන බෝතලේට වතුර එකක් පුරෝගෙන හිමීං එක එකා ගාවට ඇවිත් කතාවක් දාගෙන ඉන්න ගමං චූෂන බෝතලේ අර දිග බටේ සාක්කුවට දාලා එක පාරම මිරිකනවා.කට්ටියගේ කකුල දිගේ වතුර පාර යනකොට තමා වැඩේ ක්ලික් වෙන්නෙ.එතකොට ඉතිං කූරව ඇල්ලිලි බොරු.ප්‍රැක්ටිකල් ඉවර වෙනකොට ලැබ් එකේ මී හරක් ලැගලා වගේ මඩ වෙලා.හැමදාම ඉබ්බලගෙ කෙමිස්ට්‍රි මැඩම් ලැබ් එක භාර සර්ගෙං බැණුං අහනවා ළමයි ටික කන්ට්‍රෝල් කරගන්න බෑ කියලා.

සීනි කූරා හැමදාම ලැබ් එකේ තියන මොනාහරි පොඩි රසායන ද්‍රව්‍ය ටිකක කොලේක ඔතාගෙන ගෙදර ගෙනියනවා ගෙදරත් ලැබ් එකක් දාන්න කියලා.කල් යනකොට කල් යනකොට ලැබ් එකේ බඩු මදිවෙනකොට සීනි කූරගේ ගෙදර ලැබ් එකෙනුත්  බඩු ගෙන්න ගන්න සිද්ධ වුනා.

කෙමිස්ට්‍රි ප්‍රැක්ටිකල් වෙලාවේ පරීක්ෂණ කීපයක් කළාම සීනි කූරා හැමදාම සාරාංශ පරීක්ෂණයක් කරනවා.ඒකෙදි කරන්නෙ දවසෙම හදපු ද්‍රාවන එක ටෙස්ට් ටියුබ් එකකට දානවා.සමහරදාට ටෙස්ට් ටියුබ් පුපුරනවා.සමහරදාට ගිනි ගන්නවා.සමහරදාට කළු වෙලා ගඳ ගහලා පළාතෙවත් ඉන්න බැරි වෙනවා.මේ වැඩේ නිසා නම් ටෙස්ට් ටියුබ් බර ගාණක් ආපහු පාවිච්චි කරන්න බැරි වෙලා ගියා 🙂 .

දවසක් කෙමිස්ට්‍රි මැඩම් පන්තියේ උගන්නන කොට සීනි කූරා පත කොළයක් තියාගෙන මොනවදෝ කරනවා.

මැඩම්: මොනාද කූරා ඔය කරන්නෙ? පාඩම අහගන්නෙත් නැතුව.

කූරා කොලේ ඔසවා පෙන්වමින් මේ උඩ තියෙන්නෙ මැඩම් ‘මේ’ කියපු වාර ගාණ, පහළ තියෙන්නෙ පීරියඩ් එකහමාරක් තුල ‘අනේ’  කියපු වාර ගාණ.කූරා පත කොලයක් පිරෙන්න පහේ ගොඩවල් කපලා.කූරගේ සංගණනය අනුව මැඩම් එකසිය ගාණට ‘මේ’, ‘අනේ’ කියලා. හිහ්…මැඩම් බණිනවා හෝ ගාලා.බනින අස්සෙ තියන ‘මේ’ , ‘අනේ’ඒවත් කූරා මාර්ක් කරනවා.හිහ්… 😛