හසීගෙ ප්‍රිෆෙක්ට් ඩාන්ස් එක

2ක වසරට පස්සේ ඉබ්බට මතක හිටින සිදුවීම පෙළක් හම්බුනේ හතේ අටේ ඉන්නකොට. දැං ඉබ්බ ටිකක් ලොකුයි (මෙන්න බොලේ 7 වසරෙදි දවසක් බලනකොට ඉබ්බගෙ කටහඩත් වෙනස් වෙලා තිබුණා. ඉබ්බ දැං ලොකු ළමයෙක් 🙂 ).

ඉබ්බලගේ පන්තියේ ප්‍රිෆෙක්ට් හසී. හසී ඒ කාලෙත් සිරා බුවා. ගොඩක් පන්ති වල ප්‍රිෆෙක්ට්ලා ගොට්ටො වුනාට හසියා එහෙම නෑ. ඔන්න දවසක් 6, 7, 8 භාර අමරවංශ සර් (ඉබ්බ හරි නම වෙනස් කළා) හසීගේ බඩෙං අල්ලගෙන කොරිඩෝර් එක දිගේ ඇදගෙන එනවා හරියට පොලිසිය මේ දැං අහුවෙච්ච කුඩ්ඩෙක්ව කුදලගෙන එනවා වගේ. හසියත් ඌයි… ආයි…නෑ සර්…ඔවු සර්…කිය කිය ඇදිලා එනවා.

අමරවංශ සර් ඒ දවස් වල අම්බානක් වසයි. අමරවංශ කියන නම ඇහුනත් ඇති ඒ දවස් වල චූ නොගිය ටික ඉතරයි. සර් හසීට පළු යන්න බණිනවා. හසී ඒ දවස් වල ඉබ්බත් එක්ක එක සෙට් එකේ හිටපු හොඳම යාළුවෙක්. ඉබ්බට දැං හරි ප්‍රෙහෙළිකාව. හසීට බැජ් එක හම්බු වෙලත් තාම සති 2ක් වත් නෑ. ඊට පස්සේ තමා සිද්ධිය දැනගන්න ලැබුණෙ.

ෆ්‍රී පීරියඩ් එකක් වෙලාවෙ හසී වෙන පන්තියකට ගිහිල්ලා අළුතෙං හම්බුණු ප්‍රිෆෙක්ට් බැජ් එක කලිසමේ සිප් එක උඩ ගහගෙන පන්තිය ඉස්සරහා නට නට ඉන්න කොට අමරවංශ සර්ට අහු වෙලා. හසී අම්බානක් ගුටිත් කාල, බැණුං අහලා, සති දෙකක් බැජ් එකත් නැතුව හිටියා. හසීට සති 2කට පස්සේ අවවාද අනුශාසනා ගොඩකුත් එක්ක බැජ් එක ආයිත් ලැබුණා.

හසීව නෝන්ඩි කරන්න ඕන වුනාම ඒ දවස්වල කට්ටිය අහනවා ආ මචං කෝ බැජ් එක? කියලා. එතකොට හසී හොඳම වචන සෙට් එකකින් අමරවංශ සර්ව මතක් කරනවා. හැබැයි ඊට පස්සෙනම් හසී ප්‍රිෆෙක්ට් බැජ් එක නියමිත ස්ථානයේ පැළඳගෙන හිටියා.

ඊට පස්සේ මේ ළගඳී අවුරුදු 8කට ඉතර පස්සෙ හසී ඉබ්බට කෝල් එකක් දුන්නා. බලනකොට හසී වැඩ කරන්නේ ඉබ්බා වැඩ කරන කොම්පැනියෙමයි. තාමත් හසීගෙ කතා විලාසයනම් වෙනස් වෙලා නෑ. මංඤ්ඤං වචන විමානයයි. හසී ළඟදි බඳින්නයි යන්නේ. එහෙනම් හසීට සුභ මංගලම්!

Advertisements