ඔන්න ඉතිං ඉබ්බා A/L කාලෙ හැමදාමත් වාඩි වුනේ පන්තියේ හරි මැද පළවෙනි පේළියේ නැත්තං දෙවෙනි පේළියේ. හේතුව තමා අනිත් කට්ටිය මැරුවත් ඉස්සරහ පේළියට නම් එන්න බෑ කීම. ඒක නිසා ඉබ්බයි වූෂු මැස්සයි, හොර අලියයි, ජින්නයි, එදිරියයි, විජේයි තමා මුළු අවුරුදු දෙකම ඉස්සරහා පේළියේ ඉන්න කට්ට කෑවෙ. ඉබ්බලගේ පන්තියට ජෙනරල් ඉංග්ලිෂ් ඉගැන්නුවේ ඒ තරම් වයස නැති ඇහැට කනට පේන මැඩම් කෙනෙක්. මැඩම් එන්නෙ ෆුල් මේකප් එහෙමත් දාලා.මැඩම් පන්තියේ ඔක්කොමල්ලත් එක්කත් හෙන ෆිට්.මොකක් හරි හේතුවක් හින්දා ඉබ්බා මැඩම්ගෙ හොඳ ගෝලයෙක් වෙලා හිටියේ.කට්ටිය මේකට ඉතිං නෝන්ඩි දානවා. දන්නවනෙ ඒ කාලෙ හැටි. හිහ්… හිහ්.. 🙂 හිනාත් යනවා මතක් වෙනකොට.
ඔන්න දවසක් සීනි කූරා ග්රෑන්ඩ් ප්ලෑන් එකක් ගහලා ඉබ්බගේ ලකුණු ටිකක් කපලා දාන්න. දවසක් ඉංග්රීසි පීරියඩ් එක වෙලාවෙ 30කට ඉතර නවපු විදුසර පත්තරයක් පන්තිය පිටිපස්සෙ ඉඳලා ආවා ඉබ්බට. එදිරියා තමා දුන්නෙ.
එදිරියා: මචං ඉබ්බා…මේකෙ මාර ලිපියක් තියනවා. ඩෙස්ක් එක අස්සෙ දාගෙන බලපංකෝ…
ඉබ්බත් ගත්තා 30ට නමලා තිබ්බ පත්තරේ. අරගෙන තියා ගත්තා ඩෙස්ක් එක අස්සෙන්. දැං ඉංග්රීසි මැඩම් කෙලින්ම ඉන්නෙ ඉබ්බට මූන ලා ගුරු මේසෙ ගාව. මැඩම් ඉඳගෙන පොත් වගයක්ද කොහෙද බල බල හිටියේ. මෙන්න බොලේ එක පාරට පිටි පස්සෙ පේළියක හිටපු සීනි කූරා කෑ ගහනවා.
සීනි කූරා: මැඩම් මැඩම්… බලන්නකො ඉබ්බා ඩෙස්ක් එක අස්සෙ දාගෙන නරක පත්තරයක් බලනවා….
මැඩම් පොඩ්ඩක් පුටුවෙ ඉස්සිලා බැලුවා. ඉබ්බා මොකක්ද පත්තර කෑල්ලක් අතේ තියාගෙන ඉන්නවා. මේ අනපේක්ෂිත ප්රහාරය නිසා ඉබ්බට කරන්න දෙයක් ක්ෂණිකව හිතා ගන්න බැරි වුනා.
මැඩම්: ෂිකේ පුතේ… මම හිතුවේ ඔයා හොඳ ළමයෙක් කියලා.(ඉබ්බට හොඳට මතකයි, ඉංග්රීසි මැඩම් ඔය ටික සිංහලෙන්මයි කිව්වෙ 🙂 )
දීපංකෝ දැං උත්තර! ඊට පස්සෙ මොනා කිව්වත් මැඩම්ව ගොඩ දාන්න බැරි වුනා. සීනි කූරගෙයි එදිරියගෙයි ප්ලෑන නියමෙටම වැඩ කළා. එදා පන්තියේ කට්ටියට මාර ජොලි. ඉබ්බගෙ ලකුනු කැපුනනෙ. අපි ඉතිං ඉස්කෝලෙ ගියේ පත්තර යුගයකනෙ. සී ඩී, ඩී වී ඩී බොහෝම අඩුවෙන් තමා තිබ්බෙ. ඒ කාලෙ විඳපු දුකක් හිහ්… 😀