වින්ධ්‍යා

කොහොම කොහොම හරි ඉබ්බත් A/L කරන්න පටං ගත්තා.ඒ කාළෙනම් ඉතිං කොහොම අමතක කරන්නද?ඉබ්බලගේ පන්ති නිකං ගුහා වගේ.ඇතුලට ඇතුලට යන කොරිඩෝර් දිගේ ගියාම තමා පන්ති තියෙන්නෙ. හොඳට වට කරලා ජනෙල් දාලා. දොරේ පොඩි කොටුවක් ඉතරයි එළිය බලන්න තිබ්බෙ. ඔක්කොම වැහිලා. පන්තියෙ පරණ ෆෑන් 2යි, ටියුබ් ලයිට් 4යි. පිනුං ගහන්න තරම් ඉඩ තිබුනා.

ඉබ්බලගේ පන්තිය පිස්සං කොටුවක්.එකේක ජාතියේ පිසො හිටියා.ඉස්සරහා කොනෙං පටං ගත්තම ප්‍රජා, චෑං, ලලා, හොර අලියා, වූෂු මැස්සා, ජින්නා, එදිරියා, විජේ, අයියා, ජූඩෝ, ඩිකා, ගංජා මල්ලි, වවුලා, ගාමින්ද,ඇලට්,හැරී,ප්‍රගති,අයින්ස්ටයින්,මාල්, ගමයා, බූරු පියා,කනිෂ්ඨ,ගුජ්ජික,වින්ධ්‍යා,අයි සී,වයිටා,බෝප විජේ,ධර්මාලෝක,දිලිප් කුමාර්,බාලෙ, තොලා,සිරා, මීඩියා මිනිස්ටර්, කූරා මේ ඔක්කොම ඉබ්බගෙ පන්තියේ යාළුවෝ. ඒ දවස් වල ග්‍රෙගරි මහත්තයගෙ පාරෙ තියන ඉස්කෝලෙ A/L කරන්න අළුතෙං ළමයින්ව ගන්න කාළෙ. අළුත් කට්ටිය අරං මාසයක් විතර ඇති. යාළුවො සෙට් වේගෙන එන කාලෙ. අල්ලපු බයෝ පන්තියට ආපු යාළුවෙක් Maths කරන්න ඕනෙ කියලා ඉබ්බලගේ පන්තියට මාරු වුනා.ඉබ්බල මුලින්ම ඒ යාළුවට කිවුවේ බයෝ කියලා.දන්නවනේ ඒ කාලෙ. හරි ස්ටයිල්නෙ.කලිසමේ කුණු ගෑවෙනවට පුටුවට ලේන්සුත් දාලනෙ ඉඳගන්නෙ.බයෝත් එහෙම තමා.නීට් එකට ඇඳලා, හොඳට කොණ්ඩෙ එහෙම පීරලා තමා හිටියේ.තාම මිනිහා අනික් අයත් එක්ක වැඩි කතාබහ නෑ.

ඔන්න දවසක් පණිවිඩයක් ආවා.පණිවිඩේ ගෙනාවේ අයි සී.

“සර්ලා ප්‍රිෆෙක්ට්ලා එක්ක පන්ති වලට පනිනවා.තියන දේවල් ඉක්මණට දීපල්ලා.හංගලා ආපහු දෙනවා”

එහෙම තමා අයි සී කිව්වේ.කොල්ලො දනි පනි ගාලා හංගගෙන හිටපු පත්තර කෑලියි, මැගසින් පිටුයි අයි සී අතට පත් කළා.දැං කඩා පනින හමුදාව ළඟ ළඟම එන බව තේරෙනවා.අයි සී සහ පිරිස දඩ බඩ ගාලා පත්තර ටිකයි මැගසින් ටිකයි නමලා ගුරු මේසෙ ලාච්චුව එළියට ඇදලා එහා කොනෙංම තියලා ලාච්චුව තද කළා. එදා කාර්ඩ් පැකුත් 4ක් ඉතර තිබ්බ. ඉක්මණට ඉස්සරහා ෆෑන් එක ඕෆ් කරළා ගුරු මේසෙට නැගලා අතිං අල්ලලා ෆෑන් එක නැවැත්තුවා.ඊට පස්සෙ තට්ට උඩ කාර්ඩ් පැක් ටික පේළියට පහළට නොපෙනෙන්න තිබ්බා. කට්ටිය හරිබරි ගැහෙන්නත් කළිං මෙන්න බොලේ සර්ලා හතර පස් දෙනෙකුයි ප්‍රිෆෙක්ට්ලා කට්ටියකුයි පන්තියට කඩා පැන්නා.

ඒ දවස් වල විනය භාර හිටියේ සෝගා.සර්ට යකා නැගලා.බනිනවා පළු යන්න.සර් පහළ පන්ති වලිං අල්ලගත්ත අසභ්‍ය පත්තරයි මැගසිනුයි මිටියක් උස්සගෙනයි ආවෙ.අංශභාර ෂොක්මන් සර්ගෙ මූණෙ නම් උපහාසාත්මක හිනාවක් තමා තිබුණේ. දැං ප්‍රිෆෙක්ට්ලයි සර්ලයි එක එක්කෙනාගෙ බෑග් චෙක් කරනවා. තව කට්ටියක් පන්තිය ඇතුලෙ කණ්ඩියි ඩෙස්ක් අස්සවලුයි චෙක් කරනවා.සෝගා හෝ ගාලා බණිනවා.කට්ටිය මීයට පිම්බා වගේ.ඉස්සරහා ටික චෙක් කරලා ඉවරයි.ගෙනාපු ද්‍රව්‍ය තාම සුරක්ෂිතයි.සෝගා පන්තිය පිටි පස්සට යනවා.ඉබ්බා හිටියෙ ඉස්සරහා පේළියේ මැද.සෝගා ගිහින් සීනි කූරගේ උඩු කය චෙක් කළා. ෂර්ට් එක අස්සෙ මොනාවත් තියනවද බලන්න. නෑ. මුකුත් නෑ.ඊට පිටි පස්සෙ පේළියෙ කොනේ බයෝ කිසි හැල හොල්ම්නක් නැතිව වාඩි වෙලා ඉන්නවා.දැං ඉබ්බ පිටි පස්ස හැරිලා ඇන්ටනාව දාගෙන ඉන්නෙ.සර් ගියා බයෝ ගාවට.

සර්: තමුසෙ ගාව මොනාද තියෙන්නෙ?

බයෝ: මුකුත් නෑ සර්

සර්: ලේන්සුව අහකට ගන්නවා (බයෝ කලිසමේ කුණු ගෑවෙනවට හැමදාම ලේන්සුවක් දාලයි ඉඳ ගන්නෙ)බයෝ පැකිළෙයි.සර් ලේන්සුව ඉවත් කර අලි පත්තර මිටියක් රෝල් කර අතට ගනු ඉබාට පෙනෙයි.

සර්: මේ මොනාද යකෝ මේ? චට… පට… චට… පට…

බයෝට පත්තර මිටියෙන්ම කම්මුලටත් හිසටත් පහර වැදෙයි.

තෝ ගාව මුකුත් නෑ කිවුවා නේද? මේ මොනාද? මෙහෙ එනවා යන්න.

අනේ සර්, බෑ සර්… නෑ සර්… කියමින් බයෝ බැගෑපත් වෙයි. සර් බයෝව යුනිෆෝර්ම් එකෙංම ඇදගෙන ගියා. දැං බයෝට කඳුළුත් ඇවිල්ලා. පන්තියේ කට්ටිය ෂොක් වෙලා.

සර්: කෝ තව කවුද ඉන්නෙ?

කට්ටිය මීක් සද්දයක්වත් නෑ. මුළු පන්තියම අනික් පැත්ත ගහලා හෙවුවත් මුකුත් හම්බුනේ නෑ.කඩා පනින හමුදාව ගියා.අයි සී ට යකා නැගලා. අයි සී කෑ ගහනවා

“ඇයි යකෝ මෙච්චර කිවුවා මූ දුන්නෙ නෑනෙ” කිය කිය අයි සී බයෝට පළුයන්න බණිනවා.

කට්ටිය ගියා විස්තර හොයං එන්න. අහු වෙච්ච යාළුවො ටික මූණු කොටු කරගෙන ස්ටාෆ් රූම් එක ඉස්සරහා ඉන්නවලු. කට්ටියට ගෙවල් වලිං එක්කං එන්න කියලා.ටික වෙලාවකිං අයි සී බිම පෙරළි පෙරළි හිනා වෙවී එනවා.

“ඕයි, ඌ ගාව තිබිලා තියෙන්නෙ වින්ධ්‍යා පත්තර මිටියක්. හරි හමං දෙයක් තිබ්බනං දුක නෑ ඕයි” කිය කිය අයි සී හිනා වෙනවා.

ඕගොල්ලන්ට මතකද ඒ කාලෙ වින්ධ්‍යා කියලා කාන්තා පත්තරයක් තිබ්බා.බයෝ ගාව තිබිලා තියෙන්නෙ ඒවා මිටියක්.පන්තියේ කට්ටිය පෙරළි පෙරළි හිනා වුනා 😛 .ඊට පස්සෙ බයෝගෙ කාර්ඩ් එක වින්ධ්‍යා කියලා රෙජිස්ටර් වුනා.ඊට පස්සෙ නං වින්ධ්‍යා පන්තියේ කට්ටිය එක්ක ෆිට් වුනා. පන්ති භාර මැඩම් ඇහුවමත් කට්ටිය බයෝව හැඳින්වුවේ වින්ධ්‍යා කියලා.එහෙම කිවුවම බයෝටත් වඩා ලැජ්ජාවෙන් ඇඹරුනේ මැඩම් 😛 .

සමහර විට ඒවා කළේ කුතුහලය නිසා වෙන්න ඇති. නැත්තම් නිකං දාංගලේට වෙන්න ඇති.වෙන වෙන හේතුත් තියෙන්න ඇති.අන්තිමට කොහොම හරි අහු වුන අයට දෙමාපියන්ව ඉස්කෝලෙ එක්කන් එන්නම වුනා. එදා නම් අපිට කණගාටු හිතුණා 😦 .දරුවන් දැනුවත්ව හෝ නොදැනුවත්ව කරපු දේ නිසා ඒ අය මහත් අපහසුතාවකටත් ලජ්ජාවකටත් පත් වුන වග ඉබ්බලා දැක්කා.ඒත් එතන හිටපු සැළකිය යුතු පිරිසක් අද හොඳ පුරවැසියෝ වෙලා ඉන්නවා.ඉංජිනේරුවොත් කීප දෙනෙක්ම ඉන්නවා.වින්ධ්‍යාත් ඉහළ අධ්‍යාපනේ ලැබුවා.තාමත් ඉඳලා හිටලා ඉබ්බට මුණගැහෙනවා.

හිහ්… 🙂 වින්ධ්‍යා!

Advertisements