විජේ, ගහමුද බූරු අතක්?

ඉබ්බලගේ පන්තියේ හැමදාම අඩුම ගානෙ කාර්ඩ් පැක් 2ක් වත් තිබ්බා.එක කාර්ඩ් පැක් එකක් තිබ්බා ඒක අතටම දිය වෙලා.ඔක්කොම ප්‍රින්ට් මැකිලා.කොල ටික ඔක්කොම සුදු පාටයි.ලාවට වෝටර් මාර්ක් වගේ යාන්තං පේන ප්‍රින්ට් එකක කෑලි ටිකක් ඉතරයි කාර්ඩ් වල තියෙන්නෙ.ඒත් කට්ටිය දන්නවා කොලේ මොකක්ද කියලා.පැක් එක අතට ගත්තම කොල 52න් එකක් හරි අඩු නං කට්ටිය ටක් ගාලා කියනවා ඒයි…මේක කොල අඩුයි වගේනෙ බං කියලා. හාරත,කලාබර,රුයිත, ඉස්කෝප්ප,රෙපෝරු,කපෝති ඕවා තමා පන්තිය පිටිපස්සෙං ඇහෙන වචන.පන්තියේ පැක් 2ක් තිබුන දවසක පන්තියේ චන්ඩි සෙට් එක 100, 200 බෙට් දාලා බූරු ගහනවා.අනිත් ඔක්කොමලට එක පැක් එකයි තියෙන්නෙ.ඒක නිසා කට්ටිය අර ජූස් කියලා සෙල්ලමක් තියෙන්නෙ.ඒක ගහලා.සත පනහා, සත 25 තමා බෙට්.

ඊළඟට තිබ්බෙ විනය භාර සෝගාගෙ ෆිසික්ස් පීරියඩ් 2.කට්ටිය කාර්ඩ් ගගහා ඉන්නකොට සෝගා එකපාරම ආවා.චන්ඩි ටික 100, 200 බෙට් ටක් ගාලා සාක්කු වලට දාගෙන පැක් එකත් අතුරුදහං කරලා පොතුත් පෙරළගෙන.අහිංසකයෝ ටිකට සත පනහේ විසිපහේ ඒවා හංග ගන්නයි පැක් එක එකතු කරගන්නයි වෙලා ගියා.කෙළිංම කට්ටිය සෝගට මාට්ටු.

සෝගා: ආ… බූරු ගහනවා නේද? මෙහෙ එනවා මෙහෙ එනවා…කෝ ගන්නවා කාඩ් කුට්ටම.

සෝගා මාල්වයි, ගුජ්ජිකවයි, විජේවයි ඇදගෙන ආවා ඉස්සරහට.මේ ඔක්කොම තත්පර කීපයක් ඇතුලෙ තමා වුනේ.ජූස් ගහපු අනික් කට්ටියේ සීනි කූරා ඇතුලු කීප දෙනෙක්ට ඉන්න තැනට යාගන්නවත් වෙලාවක් ලැබුනෙ නෑ.සීනි කූරා එහෙම දැං බාගෙට ඩෙස්ක් එකකට හෙත්තු වෙලා  ඉස්සරහා වෙන්නෙ මොකක්ද කියලා බලං ඉන්නවා.ඉස්සරහ මුලින්ම ඉන්නේ ගුජ්ජික, ඊළඟට මාල්.ඊටත් පස්සෙ විජේ.පන්තියේ අනික් කට්ටිය මීයට පිම්බා වගේ. අදනං ඉතිං කෙළිංම ඇක්ෂන් මූවි තමා.

සෝගා: තුන් දෙනෙක්ට බූරු ගහන්න බෑනෙ.කෝ අනිත් එකා.

සර් දන්න දන්න ජූස් එකක් නෑනෙ.සර් හිතන විදියට දැං කට්ටිය බූරු තමා ගහලා තියෙන්නෙ.

සෝගා: කවුද අනික් එකා? සර් ගුජ්ජික දිහා බලයි.

ගුජ්ජික: දන්නෙ නෑ සර්.කලබලේට දැං මතක් වෙන්නෙ නෑ.

සෝගා: ආ…ඒකත් එහෙමද? එහෙනං කියන්නෑ නේද? ඉන්නවා වැඩක් කරන්න.

සෝගා වට පිට බලා පන්තිය පිටුපසට ගොස් කොස්ස ගෙන එයි.

සෝගා: කියපං කවුද අනික් එකා…සෝගා ගුජ්ජිකට කොස්සෙං ගහයි.ගුජ්ජික කොසු ප්‍රහාරය වළකන ගමං

කිව්වනෙ සර්…මතක නෑ කියලා(ගුජ්ජිකට මළත් පැනලා)

සෝගා විජේ දෙසට හැරෙයි. විජේ අහිංසකයා.

සෝගා: තමුසෙටත් මතක නැද්ද?

විජේ: මතක නෑ සර්…

සෝගා විජේට කොසු මිටි පහරක් දෙයි.විජේ උඩ පැන අතින් වළකයි.විජේගෙ මූණ චොර වෙලා.සෝගා තවත් පහරක් එල්ල කරන්නට කොස්ස ඔසවයි.

විජේ: ගහන්න එපා සර්… අරයත් ගැහුවා…අරයත් ගැහුවා…

හත්වලාමයි.සර් එකාවයි ඇහුවේ.මෙන්න යකෝ මූ දෙන්නෙක් පෙන්නපි 😀 .සර්ටත් වැඩේ මීටර් නෑ.සෝගට ජයග්‍රාහී හිනාවක් ගියා.

සෝගා: ආ…ඔය එන්නෙ…ඔය මතක් වුනේ.

සර් අලුත් සොයාගැනීම දෙස බලයි.

සෝගා: එනවලා, එනවලා ඉස්සරහට.

ඉබ්බට මතක විදියට ඇලටුයි, හැරියයි වෙන්න ඕනෙ දෙවනියට මාට්ටු වුනේ.හරියටම කවුද කියලා මතක නෑ.

සෝගා: කවුද බූරු කුට්ටම ගෙනාවෙ? ඒකත් මතක නැද්ද?

සෝගා මාල්ට කොසු මිට ඔසවයි.

මාල්: දන්නෙ නෑ සර්. පැක් එක තිබ්බා. අපි ගැහුවා.

සෝගා: ආ…ඒකත් එහෙමද?

සෝගා මාල්ට ගහන්න ඔන්න මෙන්න තියෙද්දි ගුජ්ජික කතා කළා.

ගුජ්ජික: සර්, අපි කට්ටිය සල්ලි දාලයි ගෙනාවෙ.

සෝගා: ආ… ඔය එන්නේ…

සර් හැමෝටම කොසු මිටෙං ආයිත් පාර පාර ගැහුවා.ඊට පස්සෙ කිවුවා ගිහිං ඉඳ ගන්න කියලා.පැක් එක රාජ සන්තක වුනා.තාම සීනි කූරා ඩෙස්ක් එකට බාගෙට හේත්තු වෙලා. සර් දැං සීනි කූරා දිහාවට ඇවිදං යනවා.පන්තියේ කට්ටිය බලං ඉන්නවා ඊගාවට මොකෝ වෙන්නෙ කියලා.සර් කූරගේ ඉස්සරහට ගියා.

සර්: ඇත්ත කියනවා…තමුසෙත් ගැහුවා නේද?

කූරා සිනහා මුසු මුහුණින්. නෑ සර්, මම ගැහුවේ නෑ. සෝගා සර් දන්නවා කූරත් මේ සෙට් එකේ ඉන්න ඕනෙ වග.

සෝගා: හොඳටම ෂුවර්ද?

සර් අත් දෙක අරගෙන සීනි කූරගෙ පපුවට තිබ්බා. නෝන්ඩි හිනාවක් දාලා කිවුවා තමුසෙත් ගහලා තියනවා ඕයි, හා…හා… ගිහිං වාඩි වෙනවා කියලා. කූරත් හිනා වෙවී ගිහිං වාඩි වුනා.

ඊට පස්සෙ කට්ටිය ඉඳලා හිටලා අහනවා විජේ, ගහමුද බූරු අතක් කියලා.

Advertisements