ඉබ්බා නිඝන්ඨ :P

ආ…මේ පහුගිය දවසක ඉබ්බට ආයෙත් ඉස්කෝලේ කතාවක් මතක් වුනානෙ 🙂 .ඔන්න ඉතිං ඒක ලියන්නයි යන්නෙ.

මේක වුනේ ඉස්කෝලේ A/L කරන්න ගිය අළුත.ඉස්සර ඉබ්බා දෙක වසරෙ ඉඳලා හත වසර ඉතර වෙනකං ගෙදර ආපු ස්කූල් වෑන් එකක් තිබ්බා.ඒකේ හිටියා අයිදි කියලා ගෑනු ළමයෙක්.ඒ ළමයව ඉබ්බගෙ යාළුවෙක් වුන කැවුමා හොඳට අඳුරනවා.කොහොම හරි පොඩි කාලෙ කාර්ඩ් එක වැටිලා තිබ්බෙ කැවුමට තමා.ඉතිං අයිදිගෙ අක්කත් මේ වෑන් එකේම තමා යන්නෙ.දෙන්නම ගියේ මැතිනිගෙ ඉස්කෝලෙට.පොඩි කාළෙ ඉබ්බට අයිදිව දිරවන්නෙම නෑ.අපෝ, හෙන ඔළුව.ඒ දවස් වල අයිදි රූප පෙට්ටියෙ ඇඩ් එකකත් හිටියා.අයිදියි අක්කයි ඉතිං පොළවට බඹ කීපයක් උඩිං තමා ගමන 😛 .කොහොම කොහොම හරි ඉබ්බා අටේ ඉඳලා ආවේ වෙන වෑන් එකක.ඊට අවුරුදු දෙකකට ඉතර පස්සෙ ඉබ්බව අම්ම දැම්මා විජ්ජාව පන්තියකට.ගෙදර ඉඳං හෝල්ට් දෙකයි.ඒ පන්තියට ඉතින් ඉබ්බගෙ ඉස්කෝලෙත් හිටිය තාමත් හොඳම ෆිට් එකක් වෙන ඉබ්බලගෙ අල්ලපු පාරෙ ඉන්න මීයත් ආවා.මෙන්න බොලේ අයිදියි යාළුවෙකුයිත් ඉන්නවා විජ්ජාව පන්තියේ.කොහොම කොහොම හරි ඉබ්බගේ ඒ දවස් වල මීටරෙත් හොඳයි.හැබැයි ඉතිං ඔය දවස් වල ඉබ්බා හෙන හොඳ බුවා.පස්සෙ තමා ඇට්ටර වුනේ.හිහ්… 😛 කොහොම කොහොම හරි O/L ඉවර වුනා.

A/L පටං ගත්තා.ඉබ්බා ගියා ගණිත සාත්තරේ ඉගන ගන්න.අයිදිලා කළේ හර බැර.ඉබ්බට කනිං කොනිං දැනගන්න ලැබුනා අයිදිට ඉබ්බා ගැන පොඩි මොකක්ද සීන් එකක් හිතිලා කියලා.ඉබ්බගේ හර බැර කරන්න ගිය යාළුවෝ අහනවා

ඒ, උඹ මැතිනිගෙ බාලිකාවෙ අයිදිව දන්නවද? කියලා.

ඊට පස්සෙ උං ඉතිං බයිට් එක දෙනවා හිටු කියලා.ඉබ්බට මේ වැඩේ ටිකක් වාත වුනා.අනික් අතට අර පොඩි කාළෙ අයිදිගෙ ඔළු පාර්ට් නිසා ඉබ්බට කොහොමටත් අයිදිව දිරෙවුවෙම නෑ 😦 .මෙහෙම යනකොට දවසක් උදේ පාන්දරම හර බැර යාළුවෙක් ඉබ්බව හොයාගෙන ගණිත සභාවට ආවා.ඉබ්බලගෙ ඉස්කෝලේ හර බැර එකේ ඉඳලා ගණිත සභාවට එනවා කියන්නෙ ඉතිං ට්‍රිප් එකක් යනවා වගේ තමා 😀 .ඉස්කෝලෙ එහා කොනේ ඉඳලා මෙහා කොනටම එන්න ඕනෙ.හති දාගෙන ආවෙ ජල්ලියා හරි සයිබු හරි වෙන්න ඕනෙ.ඇවිත් දිග ලියුම් කවරයක් දුන්නා.දීලා කිවුවා අයිදි උඹට දුන්නා කියලා.ඉබ්බා බැළුවා මේ මොකක්ද යකෝ මේ කියලා.කඩලා බැලුවම අර මතකද ඒ කාළේ බොරූ ප්‍රොජෙක්ට් කෙරුවාවක් තිබ්බා 🙂 .අන්න ඒකට අයිදි දත්ත එකතු කරන ෆෝර්ම් එකක්.ඒක පිටු කීපයක් තිබ්බ හෙන දිග ෆෝර්ම් එකක්.ඉබ්බට මතක හරිය තමා ඔය පහළ ලියන්නෙ.ප්‍රොජෙක්ට් එක කුල මල, ජාති, ආගම් ගැන.

ප්‍ර: ඔබ වෙනත් කුල වල හෝ ආගම් වල අය ඇසුරු කරනවාද?

පි: නැත.

ප්‍ර: පිළිතුරට හේතු

පි: ඒ අය පහත් කුල වල නිසා.

ප්‍ර: ඔබ මිතුරන් ඇසුරු කරනවාට ඔබේ දෙමවුපියන් බලපෑම් කරනවාද?

පි: ඔවු.

ප්‍ර: පිළිතුරට හේතු

පි: ඒ අය වෙනත් ආගම් වල නිසා. 😛

ප්‍ර: ඔබ අනුගමනය කරන පුදගලයකු හෝ කිහිප දෙනෙකු සිටිනවාද?

පි: ඔවු.

ප්‍ර: පිළිතුර ඔවු නම් ඒ කවුරුන්ද?

පි: මක්ඛලී ගෝසාල

ප්‍ර: ඔබේ පියාගේ ආගම

පි: අකිරිය වාදය

ප්‍ර: මවගේ ආගම

පි: අමරා වික්ඛේපවාදය

ප්‍ර: ඔබේ ආගම

පි: නිඝන්ඨ!

ඔන්න ඔය වගේ උත්තර තමා ඉබ්බා ඔක්කොම ලිවුවෙ 😛 . අනිත් ප්‍රශ්න වලටත් ලිවුවේ ඔය සංජය බෙල්ලට්ඨිපුත්ත,පූරණ කස්සප, අජිත කේසකම්බල වගේ උත්තර තමා. ඊට පස්සෙ ෆෝර්ම් එක අර ලියුම් කවරෙම දාලා දූතයට බලන්න බැරි වෙන්න හොඳට අලෝලා ගෙනාපු දූතයා අතේම යැවුවා.මෙන්න යකෝ, ඊළඟ සතියේ සඳුදා උදේ පාන්දරම දූතයා එනවා දුම් පිඹගෙන.

දූතයා: මොනාද යකෝ තෝ අරෙක ලියලා තියෙන්නෙ? අන්න අරකි අපිට පලු යන්න බණිනවා. මූණක් වත් බලන්නෙ නෑ.

ඉබ්බා: ඉතිං උඹ කියපං උඹ දන්නෙ නෑ කියලා.

දූතයා: කිවුවා යකෝ. ඒ ගෑනි කියනවා ඉබ්බනං හරිම හොඳයි. ඔය වගේ වැඩ කරන්නෙ නෑ. ඕගොල්ලො තමා මේක පුරෝලා තියෙන්නෙ කියලා. මොනාද යකෝ තෝ ඒකෙ ලිවුවෙ?

මලකෙළියයි! ලෝක රූ රැජින සහ පොල් ගහ කිවුවලු 😛 .කොහොම කොහොම හරි කාලයක් යනකං හර බැර යාළුවෝ හම්බුනාම ඉබ්බගෙං අහනවා මොනාද යකෝ තෝ අර කරලා තියෙන්නෙ කියලා. දැං මතක් වෙනකොට නං හිනාත් යනවා 😀 .

මතකනේ? ඉබ්බා නිඝන්ඨ….හිහ් 😛

Advertisements

අපේ යාළු සෑම්

මේක නම් දුක හිතෙන කතාවක්. කැමතිනම් ඉතරක් කියවන්න.

ඉබ්බ 10 වසරට පාස් වුනා. ඉබ්බගෙ 10 වසරෙ සර්ගෙ නම අපේ යාළු සෑම්(සෑම්ට ඒ නම දාලා තිබ්බේ ඉබ්බලගෙ ජ්‍යේෂ්ඨ ශිෂ්‍යයෝ).සර් සාමන්‍ය ප්‍රමාණයට උසයි. තලඑලළුයි. කොන්ඩේ කං වැහෙන්න බීට්ල් කට් එක දාල හිටියේ.සර්ට තුබුනා කට පියාගෙන හිනාවෙන විදියක්. සර් ඉගැන්නුවේ විද්‍යාව.සර්ගේ හොර බොරු, කැත ගති කිසිවක් ඉබ්බා කවදාවත් දැකලා නෑ. ඒ දවස් වල සර් මැදි වියේ.  38ක් 40ක් වගේ වෙන්න ඇති.සෑම් ඕනෙ දෙයක් දිහා සාවධානව මධ්‍යස්ථව බැළුවා. කිසිම විටක කාගෙවත් පැත්ත ගත්තෙ නෑ. ශිෂ්‍යයන්ට දඩුවම් කරන්න් ඕන අවස්ථා වලදි නොපැකිළී සුදුසු දඩුවම් ලබා දුන්නා.විහිළු කරන අවස්ථා වලදී ඊට සුදුසු පරිදි හිටියා. සංවේදී වෙන්න උවමනා අවස්ථාවලදී එසේ කළා.

මතක හිටින සිද්ධි කීපයක් නිසා සෑම් ඉබ්බට උගන්නපු ගුරු මාපියන් අතර ඉහළින්ම ඉන්නවා. පළවෙනි එක වුනේ ඉබ්බ 10ට ආපු අළුත.උදේට රෙජිස්ටරේ මාර්ක් කරනකොට හැමදාම එක නමක් ඉස්සරහා කතිරයක් වැටෙනවා. මාස දෙකක් ඉතර මෙහෙම වුනා. පාසල් නොඑන වග ඉස්කෝලෙට දන්වලත් නෑ.සෑම් මේ ළමයව දන්න අඳුනන ළමයි මාර්ගයෙන් විස්තර හොයාගෙන ඒ ළමයගෙ ගෙදරට ගියා. කීප වරක්ම ගියා. පන්තියේ අනෙක් ළමුන්ට යම් යම් විස්තරත් කිවුවා.දැං මේ සිද්ධිය වෙලා අවුරුදු 12කටත් වැඩියි. අද තේරෙනවා සර් එහෙම කිවුවේ අර ළමයට ඉස්කෝලෙ ආවම පන්තියේ සුදුසු පරිසරයක් ඇති කරන්න කියලා. ඉබ්බා ඒ සිද්ධිය ගැන වැඩිපුර කියන්නේ නෑ. නමුත් ඒ යාළුවට යම් මානසික සංකූලතාවක් ඇති වෙලා පාසල් නෑවිත් ඉඳලා.සෑම් ඒ යාළුවා පිළිබඳ සියළු වගකීම් භාර ගත්තා. අන්තිමට මාස 3ක් අවසානයේ යාළුවා ඉස්කෝලෙ ආවා. දිගටම ආවා. O/Lලුත් පස්ස් වුනා. A/L කරන කාලෙ ප්‍රිෆෙක්ට් කෙනෙකුත් වුනා. A/Lලුත් කළා.සර් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නියම මහත්මයෙක්. මේ වගේ දේවල් නොදැක්කා වගේ අහක බලාගන්න සමාජයක සර් කරදර වෙලා වල්මත් වෙන්න හිටි ජීවිතයක් එහෙම් පිටින් ගොඩ දැම්මා.

පන්තිය අතුගාල නැති දාට එහෙම සෑම් කට්ටියට හොඳට ගුටි දුන්නා. ඉබ්බගෙ පන්තියේ හිටියා නංගි මල්ලි කියලා අහින්සක යාළුවෙක්. ගුටි දෙන කොට නංගි මල්ලිත් නැගිටලා අත අල්ලනවා. සර් හිනාවෙලා කියනවා හ්ම්…තමුසෙට ඕනෙ නෑ…තමුසෙ වාඩිවෙනවා(සර්ට හිනා).ඒකටත් හරියන්න අනිත් කට්ටියට හම්බු වෙනවා.10, 11 දෙවසරේම පන්ති භාර ටීචර්ව වෙනස් කරන්නෙ නෑ.

ඉබ්බගෙ පන්තිය සෙක්ෂන් එකේ අන්තිම පන්තිය නිසා ස්ටාෆ් රූම් එක ගාව තමා අවුරුදු 2කම තිබුනේ. නෝ මෑන් යනවා ස්ටාෆ් රූම් එකේ සර් ඉන්නවද බලන්න. ඉන්නවනම් නෝ මෑන් පන්තියේ පිටිපස්සේ පුටුවක ඉඳගෙන, කකුල් 2කකින් පැද්දිලා බිත්තියේ හේත්තු වෙලා, අපේ යාළු සෑම්…සෑම්…අපේ යාළු සෑම්…සෑම් (මතකද ඒ දවස් වල සොසේජස් ඇඩ් එකක් තිබුනා) කියලා කෑ ගහනවා.නෝ මෑන් දන්නවා සර් මේක ඇහිලා කොයි වෙලේ හරි එනවා කියලා.ටික වෙලාවකින් සෑම් අත් දෙකත් පිටිපස්සට බැඳගෙන කොරිඩෝර් එක දිගේ හිමීට එනවා.පන්තියට එළියෙං දැළ ගාවට එන(ඉබ්බලගෙ ඉස්කෝලෙ A/L පන්ති ඇර අනික් පන්ති වල බාග බිත්තියි දැලුයි තමා තියෙන්නෙ)

සර්: නෝ මෑ…ඈ…න්, උඹ මගෙං කන්නයි හදන්නේ…

නෝමෑන්: ආ…සර්…ඇයි සර් සර්ට සෑම් කියන්නෙ?

සර්: ඒක උඹලෑ මහ එවුන්ගෙං අහගනිං. ඒයි, දැං මොනාද තියෙන්නෙ? කෑගහන්නෙ නැතුව පොතක් බලාගන්නවා.

සෑම් යළිත් ස්ටාෆ් රූම් එකට පිය නගයි.

සර්ගේ විද්‍යාව ඉගැන්නිල්ල නියමයි. සර් කිසි දිනක සූදානම් නැතිව පන්තියට ආවෙ නෑ. අදාල පාඩම් නියම දවසටත් කළිං ඉවර වුනා. සර් ඒවා හොඳට පැහැදිලි කළා. 11 වසරේ 6 වෙනි පාඩම ප්‍රජනනය. 11 වසරට ආපු දවසෙ ඉඳං කොල්ලෝ ඒකමයි කියවන්නෙ. සර් පන්තියට ආපු ගමන් හැමදාම නෝ මෑන් අහනවා සර් අද 6වෙනි පාඩම කරමු කියලා.

සර්: හරි හරි පොඩ්ඩක් ඉන්නවා… කියලා දෙන්නම්…පුදුම හදිස්සියක් නේ තියෙන්නෙ (උපහාසයෙන් හීන් හිනාවක් දමයි).

අන්තිමට සර් 6වෙනි පාඩම හැර අනෙක් සියළු පාඩම් ඉගැන්නුව. O/L වලට කලින් තව මොනාවත් පැහැදිලි කරගන්න තියනවාදැයි සර් ඇහුවා.සුපුරුදු විදියට නෝ මෑන් ඇහුවා සර් 6 වෙනි පාඩම උගන්නන්නේ නැද්ද? කියලා.

සර්: ඒකෙ මොනාද ඕයි උගන්නන්න තියෙන්නෙ? තමුසෙලා ආපු දවසෙ ඉඳං ඒකමනෙ කියෙවුවෙ. ඔය මදෑ කියා සිනාසුනා.

නෝ මෑන්: (පොත පෙරළා බලා) මේකෙ බොරුනෙ සර් තියෙන්නෙ

සර්: ආ…හරි හරි… ඕකෙ තියෙන්නෙ බොරු.එතකොට උඹලා කියෝන පත්තර කෑලි වල තමා ඇත්ත ඒවා තියෙන්නෙ (සිනාසෙයි). ඒවෑනෙ ඕයි බොරු තියෙන්නෙ

නෝ මෑන්: සර් කොහොමද දන්නේ ඒවෑ තියෙන්නෙ බොරු කියලා. සර් හොරෙන් කියෙවුවා නේද? (එදා නම් සර් ඇනගත්තා).

වැඩේ වැරදුන නිසා සර් හිනාවක් දාගෙනම ස්ටාෆ් රූම් එකට ගියා. එදා නම් පන්තියේ කට්ටිය හොඳට හිනා වුනා.

11 වසරේදි වෙන පන්තියක හිටපු ශිෂ්‍යයෙක් දිගටම විනය විරෝධී වැඩ වලට අහු වෙලා ඒ පන්තියේ මැඩම් කිවුවා භාරගන්න බෑ කියලා. ඒ ශිෂ්‍යයාගේ ගෙදරිනුත් විරෝධයක් නැති නිසා අන්තිමට අස් කරන තැනට වැඩේ සෙට් වුනා.සෑම් ස්වේච්ඡාවෙන් ඒ ළමයව භාර ගත්තා.

“පවුනේ, අනාගතයක් අඳුරු වෙනවා. ඔහෙ හිටපුදෙං.තව මාස දෙක තුනයිනෙ” සෑම් ඉබ්බලට කිවුවා.ඊට පස්සෙත් මිනිහා ආයිත් විනය විරෝධී වැඩකට අහු වුනා. සෑම් ආයිත් මිනිහව බේර ගත්තා.අහක යන කුණු කියලා වෙන කෙනෙක් නම් අත අරිනවා.

ඉස්සර පන්තියේ තීන්ත ගාන්න රුපියල් 150ක්දෝ කොහෙද හැමෝගෙන්ම එකතු කළා. බල කරළා මුදල් එකතු කරපු ගුරුවරු අතර සෑම් අමාරුකම් තියන වග පෙනුන ශිෂ්‍යයන්ගෙන් මුදල් නොගෙන හිමීන් මග ඇරියා. මේ ඉබ්බට නෝටිස් වුන කීපයක් විතරයි. ඉබ්බ නොදන්න සර් කරපු තව හොඳ වැඩ ඕන තරම් ඇති.

ඉබ්බ සෑම්ගේ හොඳ ගෝලයෙක්. 6 වසරෙ ඉඳලා හැම අවුරුද්දකම පළවෙනි ටර්ම් එක ඉබ්බගෙ සෙල්ලම් ටර්ම් එක. හරි හමං වාර විභාගයක් නැති නිසා ඉබ්බ පාඩම් කරන්නෙ නෑ. ඉතිං ටීචර්ස්ලා හිතං ඉන්නේ ඉබ්බ වැඩ කරන්නේ නැති ළමයෙක් කියලා.ඉබ්බ ගොට්ට අල්ලන්නෙත් නෑ. ඒ කාලේ ඉබ්බගෙ කොන්ඩෙ පොල් මුඩ්ඩක් වගේ. ඉබ්බ අම්බානක් බැණුම් අහනවා කොන්ඩෙට. 2වෙනි වාර පරීක්ෂනේ ලකුණු ආවම තමා ටීචර්ස්ලා දන්නේ ඉබ්බ වැඩ කරනවා කියලා.ඉබ්බ උනන්දුවා කියලා යාළුවෝ නම් දන්නවා.සෑම් කිසිම ගෝළයෙකුට විශේෂයක් කළේ නෑ. ඔක්කොම එකයි.10, 11 වාර පරීක්ෂණ 4න්ම ඉබ්බ පන්තියේ එක.ඒක නිසා සෑම් ඉබ්බත් එක්ක ෆිට්. පන්තියේ යාළුවන්ගේ මාර්ක්ෂීට් අවුරුදු දෙකේම හැදුවේ ඉබ්බ.පිළිවලකට ඔෆිස් වැඩ කරනහැටි මුලින්ම ඉබ්බ ඉගෙන ගත්තෙ එහෙම. ඉබ්බ ඉතිං පන දාගෙන ඒවා ලස්සනට හදලා දෙනවා. පන්තියේ යාළුවන්ගේ රිපොර්ර්ට් වල ලකුණු දාන්නෙත් ඉබ්බා.

ඒ දවස් වල ඉබ්බගෙ පන්තියේ යාළුවෙක් හිටියා චින්තා කියලා.චින්තගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් ඉබ්බලගෙ ඉස්කෝලෙට හෝල්ට් 3ක් එහා තිබුන බාලිකා විද්‍යාලෙයි හිටියේ.ගර්ල් ෆ්‍රෙන්ඩ් පළවෙනියළු. චින්තගෙං බර බරේ උගේ රිපෝර්ට් එකේ පළවෙනියා කරලා දියං කියලා.ඒකෙ තියෙන්නෙත් ඉබ්බගෙ අකුරුනෙ.අම්ම්ලා තාත්තලාට පෙන්නලා ඉවර වුනාට පස්සෙ ඉබ්බ හිමීට ඒක කරලා දුන්නා.චින්තා ඉබ්බට නොවැන්ද ටික ඉතරයි.චින්තා නම් දැං බැඳලා. හැබැයි අර පළවෙනියමද දන්නෙ නෑ.11 වසරෙන් සමු ගන්න කොට ඉබ්බලා පොඩි පාර්ටියකුත් දැම්මා. O/L වලින් පස්සෙ සර් ඉබ්බගේ විද්‍යාව නෝට් පොත් ඔක්කොම ඉල්ල ගත්තා.ඉබ්බලෑ පන්තියේ ඉබ්බ, පැටී, හෙට්ටියා, චිකන්, මීයා ඇතුළු තව කට්ටිය හොඳට පාස් වුනා.

කාලෙ ගෙවිලා ගියා. A/Lලුත් ඉවර වුනා. හොඳට පාස් වුන අය අතර සර්ගේ ගෝලයොත් හිටියා.සමහරු තෘතීය අධ්‍යාපනේ ලැබුවා. සමහරු රස්සාවල් වලට ගියා. ඉබ්බත තෘතීය අධ්‍යාපනේ ලබලා රස්සවකට ගියා. ඉබ්බා ට්‍රේනිං කාලෙ කණගාටුදායක ආරන්චියක් ආවා.විස්තරේ කිවුවේ මීයගේ හොඳ යාලුවෙක් වෙච්ච තලේ.තලේගෙ අම්මා ඉබ්බලගෙ ඉස්කෝලෙමයි ඉගැන්නුවේ.සෑම්ට බඩවැලේ කැන්සර් එකක් වැළඳිලා. එක ඔපරේෂන් එකක් කරළා. සර් දන්නේ නෑලු කැන්සර් කියලා. දැං වීවේකයෙන් ගෙදර ඉන්නවා කියලයි කියවුනේ. ඉබ්බට හරි කණගාටුයි. ඇයි සර්ටම ඉබ්බට එහෙම හිතුනා.

කොහොම හරි ඉබ්බයි, තලෙයි, මීයයි, වෙන්ගයි ගියා සර්ව බලන්න ගෙදරට. පුෂ්ටිමත්ව හිටපු සර් කෙට්ටු වෙලා, මලානික වෙලා. එක පාරට ක්ෂණයෙන් වයසට ගිහින් වගේ. ඉබ්බට කනගාටු හිතුනා.සර් සුපුරුදු විදියට හිනා වෙලා ඉබ්බලව පිළිගත්තා. සර් කට්ටියගෙ විස්තර අහලා සතුටු වුනා.ඉබ්බත් එක්ක හිටපු මුනි ගැනයි නින්ජා ගැනයි සර් ඇහුවා. මන්දෙවත් සර්ට අමතක වුනේ නෑ. O/L වලින් තුම්මුල්ලේ ඉස්කෝලෙට ගිය චිකන්වත් සර් ඇහුවා.

“මේ බඩවැලේ පොඩි ගෙඩියක් ඇවිල්ලා. ඔච්චර කිලෝමීටර් ගානක් වැඩක් නෑනෙ. කපලා දැම්මා. දැං හරි. නොකා නොබී ඉස්කෝලෙට වැඩ කරලා ඕක තමා වුනේ. පහුගිය දවස් වල සෙක්ෂනල් හෙඩ් වුනානෙ.දැං ඒවයින් අයින් වෙලා ඉන්නෙ.කරපු ඒවටත් හරි යන්න දැන් විවේක අරං තමා යන්නෙ” එහෙම කියලා සර් හිනා වුනා.

ඉබ්බට ඒ වචන තාමත් එකෝ වෙනවා වගේ ඇහෙනවා. ඒ වෙන කොටත් තලේ කියලා තිබ්බෙ හොඳ කරන්න අමාරු වග. මෙහෙම මනුස්සයෙකුට මේ වගේ වෙච්ච එකට ඉබ්බට හරිම කේන්තියි.ඒ කේන්තිය කාත් එක්කද කියලා ඉබ්බට තේරෙන්නෙ නෑ.

ඒ දවස් වල ඉබ්බා කිරි ඉබ්බිත් එක්ක යාළුවෙලා ඉන්න කාලෙ. කිරි ඉබ්බිලගේ ගෙදරින් ගියා අභයගිරි දාගැබ ප්‍රතිසංස්කරණය කරන ශ්‍රමදානෙකට. ඉබ්බත් එකතුවුනා. ගලිගමුව හරියෙදි ඉබ්බට කෝල් එකක්. කෝල් එක නින්ජගෙන්.

නින්ජා:ඉබ්බ මචං, උඹ කොහෙද ඉන්නෙ?

ඉබ්බා:මම මේ අනුරාධපුරේ යන ගමන්. ගලිගමුව හරියෙ.

නින්ජා: පොඩි සීන් එකක් කියන්න කතා කළේ. සෑමා නැති වෙලා. (මද විරාමයක්…) උඹට එන්න පුළුවං වෙයිද?

ඉබ්බා: එන්න ඕනෙ.මම කොහොම හරි එනවා…

ඒත් ඉබ්බට ඒකට කල් වේලා ඇතුව එන්න බැරිවුනා. ඉබ්බ අත ගහපු අනික් වැඩේ දාල එන්න බැරි වුනා. ඉබ්බට හරිම කණගාටුයි.තව ගොඩක් ජීවිත එළි පෙහෙළි කරන්න හිටි සර් අකාලයේම සමුගත්තා. ඒත් සර්ගේ පෞරුෂය හා අවංක මනුස්ස ගති නිසා සර් තාමත් අපේ හිත් වල නොමැරී ජීවත් වෙනවා.සර්ගේ ගෝලයෝ එකතු වුනු වෙලාවල් වල අනිවාර්යයෙන් සර්ව මතක් කරනවා. අපි අද යම් යහපත් වැඩක් කරනවනම් අපිට ආදර්ශයෙන් ඊට ඔවදන් දීපු අපේ යාළු සෑම්ටත් ඒ ගෞරවයෙන් කොටසක් හිමිවිය යුතුයි.

සර්,

ඔබේ ගෝලයෝ යම් යහපත් වැඩක් කරයිද ඒක ඔබට උපහාරයක්ම වේවා!

හොඳ මිනිස්සු ඉක්මනටම යනවා.

ඔබට නිවන් සුව!

රූපං ජීරති මච්චානං-නාම ගොත්තං න ජීරති

රූපය දිරයි නාමය නොදිරයි

කේවට්ටයා

කොහොම කොහොම හරි ඉබ්බත් සුදු කලිසං අඳින්න පටං ගත්තා. ඉබ්බලගේ 10, 11 වසර භාරව හිටපු සර් හරිම හොඳයි. සිංහල සාහිත්‍ය උගන්වන්න අති දක්ෂයි. පරණතාලෙ සර් කෙනෙක්. සර්ට කවුරුත් කිව්වෙ කේවට්ටයා කියලා(මතකනේ, ඒ දවස් වල සාහිත්‍ය පොතේ තිබුන උම්මග්ග ජාතකේ කේවට්ටයා). ඉතිං ඉබ්බන්ගේ ජ්‍යේෂ්ඨ සහෝදරයෝ සර්ට ගැළපෙන්න ඒ නම දාලා තිබ්බා. ඉබ්බ මේ කියන කතා සමහරක් ඉබ්බට වුන ඒවා, අනික් ඒවා ඉබ්බගේ යාළුවන්ට වෙච්ච දේවල්. මොනවා වුනත් හරිම රසවත්.

ඉබ්බලගේ පන්ති වල හිටියා ගයියෑන් කියලා යාළුවෙක්. ගයියෑන්ට පිස්සු හොඳම එක. ගයියෑන්ගේ විනෝදේ තමා උදේ ඉඳං ඉස්කෝලේ අරිනකම්ම සර්ව වාත කරන එක. 11 වසර බිල්ඩින් එකේ දෙපැත්තෙ පඩි පෙළවල් 2ක් තියනවා. සර් කොරිඩෝ එක දිගේ එනකොට ගයියෑන් පඩි පෙළට මුවා වෙලා කටහඩ වෙනස් කරලා කොවුලෙක් වගේ ‘කේවෝ’ කියලා මහ හයියෙන් කෑ ගහනවා. සර් අඩිය ඉක්මන් කරලා ඒ පැත්තට එනකොට ගයියෑන් පඩිපෙළ බැහැලා දුවලා යනවා පහළ තට්ටුවේ අනෙක් කෙළවරට.සර් පහළට බහිනවාත් එක්කම ගයියෑන් ආයිත් කෑගහනවා ‘කේවෝ’ කියලා. ගයියෑන්ව අල්ලගන්න බැරුව සර් යනවා. ගයියෑන්ගේ අවධානය වෙන පැත්තකට ගිය ගමන් සර් ටක්ගාලා කඩා පැනලා ගයියෑන්ව අල්ලගන්නවා.

සර්: ඈ ගයියෑන්. තමුං මොකක් කියලද කෑගැහුවෙ?

ගයියෑන්: සර්… කේවෝ කියලා

සර්: තමුසෙ කාටද කේවෝ කියන්නෙ?

ගයියෑන්: ඇයි සර්… සර්ටනෙ

(පටාස්) ගයියෑන් කම්මුල බදාගෙන සිනාසෙයි.

සර්: දුවනව පන්තියට

ගයියෑන් හිකි හිකි ගාමින් පන්තියට යයි.

අනු කේවට්ටයා

ගුරුවරයකු නැති විටකදී සිසුන් කෑ ගසමින් හිටපු පහළ බණ්ඩිරාළ සර්ගේ පන්තියට සර් පැමිණෙයි.

සර්: මොකද කෑගහන්නේ…ඒ…? දැං මොනාද තියෙන්නෙ…ඒ…?

ඉදිරිපස පේළියේ සිටින සිසුවා නැගිටියි.

සිසුවා: සර් සිංහල

සර්: සිංහල මොනාද…අ…?

සිසුවා: සාහිත්‍ය

සර්: සාහිත්‍ය මොන පාඩමද…අ…?

සිසුවා: සර් අනුකේවට්ටයා

ටෝර්…

සිසුවා කම්මුල බදාගෙන සිදුවූ දෙය වටහාගන්නට තැත් කරයි. සර් හිතලා තියෙන්නේ සර්ට බයිට් එකට ගෝලයා අනුකේවට්ටයා කිව්වුවා කියලයි 😛 .

සීනි කූරා

දවසක් සීනි කූරා පන්තියේ දඟල දඟල ඉන්නකොට කොරිඩෝ එකෙං ගිය සර්ට අහු වුනා.

සර්: තමුං යනවා සටාෆ් රූම් එකට. මම එනකං මගේ මේසෙ ගාව හිටගෙන ඉන්නවා…ආ…

සීනි කූරා කරබාගෙන ස්ටාෆ් රූම් එකට යයි. විනාඩි 10කින් පමණ ස්ටාෆ් රූම් එකට පැමිණෙන සර්ට මේ බව මතක නැත.

සර්: තමුන් මොකද ඔතන කරන්නෙ…ඒ…?

සීනි කූරා: නෑ සර් මේ නිකං ආවේ

සර්: දුවනවා පන්තියට

සීනි කූරා කිසිවක් නොවූ පරිදි පන්තියට පැමිණ වාඩි වෙයි.

ගලගොඩ

ගුරුවරයකු නොපැමිණීම නිසා කෑ ගසන සිසුන් සිටින ගලගොඩලගේ පන්තියට එන සර්

සර්: ගලගොඩ නැගිටිනවා

ගලගොඩ නැගිටියි.

සර්: තමුංගෙ නම මොකක්ද?

ගලගොඩ: සර්, ගලගොඩනෙ…

සර්: ආ…හොඳයි. වාඩිවෙනවා.

සිනහව යටපත් කරගෙන තොල විකාගෙන ගලගොඩ වාඩි වෙයි 😛 .

එමිනෙම්

මේ සිද්ධිය නම් වුනේ ඉබ්බගේ යළුවා මීයගේ මල්ලි, පොඩි මීයගේ පන්තියේ. කට්ටිය චුවින්ගම් කාලා ටැටූස් අලවලා තිබුනා පිටිපස්සේ බිත්තියේ. ඉබ්බත් ඒක දැක්කා.  ඔය අතර කීප දෙනෙක් නම් බිත්තියේ කැටයම් දාලා ලියලා. සර් පැමිණෙයි. බිත්තිය අසලට ලං වන ඔහු.

සර්: මොකක්ද මේ ලියලා තියෙන්නේ? ආ…ගයාන්…කෝ ගයාන් නැගිටිනවා.

ගයාන් නැගිටියි. ගයාන්ගේ නමට එහායින් එමිනෙම් කියා ලියා ඇත. සර් දැං එමිනෙම් කියා කියවන්නට උත්සාහ කරයි. ඒත් මැද තියන ඊ අකුර නොපිටට ලියා ඇති නිසා සර්ට එය කියවීම අපහසු වග පෙනෙයි. කීප වරක් උත්සාහ කර

සර්: මේ මොකක්ද මේ?

ගයාන්: සර් ඒ එමිනෙම් කියලා ලියලා තියෙන්නෙ.

සර්: එමිනෙම්. ඒ මොකාද? ඌත් මේ පන්තියෙද?

කට්ටිය තොල විකාගෙන සිනාසෙයි 🙂 .

<p style=”text-align:justify;font-size:medium;”>