හාවා සහ විට කුමාර

අදනං කියන්නේ පියතිලක සර්ගේ පන්තියට යන දවස් වල වෙච්ච ඇබැද්දි ටිකක්.

පන්ති පටං හන්නේ හවස 6ට. සඳුදා applied සිකුරාදා pure.ඔෆිස් වෙලාවට බස් එකේ හෙන කට්ට නිසා ඉබ්බා කලිංම පන්ති යනවා. පහයි කාල පහයි විස්ස වෙනකොට ඉබ්බ සර්ගේ ගේට්ටුව ගාව.ඊට පස්සේ ඔය එක්කෙනා දෙන්නා හිමීට එන්න පටං ගන්නවා.සර්ගේ තාප්පේ අයිනෙං පාරක් තිබ්බා පිටිපස්සෙ හිස් ඉඩමකට යන. එතන අයිනෙම හෙන හෙලක් වගේ කාණුවකුත් තිබ්බා.පන්තියේ යාළුවෙක් හිටියා මයියා කියලා.මයියාට පිස්සු උපරිමේට.මයියා කාලයක් මවුන්ටන් බයිසිකලේක තමා ක්ලාස් ආවෙ.දවසක් අටට ක්ලාස් ඇරියා.කට්ටිය දැං කතාව දාගෙන එළියට එනවා. සමහරුන්ගේ අම්මලා තාත්තලාත් ඇවිත් එක්කං යන්න.හාවාගේ තාත්තත් ඇවිත් හාවාව එක්කං යන්න. හාවා පේන්න නෑ.දැං කට්ටිය හාවව හොයනවා. තාප්පෙ පැත්තට ගිය පැංචි කියනවා

අඩෝ මයියා, උඹේ බයිසිකලේ වගේ රෝදයක් පේනවා කාණුව අස්සෙ, පොඩ්ඩක් බලපං කියලා.

දැං ඔක්කොමල්ල වගේ ඒ පැත්ත බලනවා.මෙන්න බොලේ කළුවරේම හාවා අත පය පිහිද පිහිද කාණුව අස්සෙං එනවා.හාවා මයියගේ බයිසිකලෙං වටයක් යන්න ගිහිං කළුවරේම කාණුවට අල්ලලා.ඊට පස්සෙ ඉඳලා හාවාගෙ තාත්තා හාවව හොයන කොට කට්ටිය කරන්නෙ හිමීට කාණුව හරියට ගිහිං

බලපං මචං හාවා ඉන්නවද කියලා කාණුවට එබෙනවා 😛 .

ඔන්න තව දවසක් හාවව එක්ක යන්න තාත්තා ඇවිල්ලා. වෑන් එක ස්ටාර්ට් වෙන්නෙ නෑ.කට්ටිය සෙට් වුනා තල්ලු දාන්න.හාවත් බොක්කෙන්ම තල්ලු දානවා. වෑන් එක ස්ටාර්ට් වුනා.අංකල් ඇදලා ගියා අඩි දෙක තුනක්.වෑන් එක ස්ටාර්ට් එකේම තියලා බැහැලා ආපු අංකල් ඇහුවා පුතා කෝ හාවා කියලා.කට්ටියත් එක්ක මේ හිටිය හාවා නෑ. අඩි තුන හතරක් පස්ස බැලුවම මෙන්න බොලේ හාවා කළුවරේම බිම වැතිරිලා ඉන්නවා අර ආර්මි කෝස් වල බඩගානවා වගේ.අංකල් ඇදපු පාර හාවා ගෙමබා ගැහුවා වගේ බිම වැටිලා.කට්ටිය බඩ පැළෙන්න හිනා වෙන ගමං හාවව නැගිට්ටලා වෑන් එකට නැග්ගුවා 🙂 .

පියතිලක සර්ගේ පන්තියේ ඉබ්බලගේ පේළියට පිටිපස්සේ පේළියේ හිටියේ විට කුමාරයි, භරණයි, බන්ඩියි. විට කුමාරට ඒ නම වැටුනෙත් පියතිලක සර්ගේ පන්තියේදි.පන්තියේ බාලිකාවක් හිටියා දිකා කියලා.එදා සිංහල අවුරුද්දට පස්සෙ මුලින්ම පන්ති තිබ්බ දවස. කට්ටිය සල්ලි දාලා පැළවත්තෙ පෙරේරා මහත්තයගෙයි පුතාගෙයි කඩෙං කේක් ගෙඩි 2කුයි තව බුලත් අතකුයි අරගෙන පන්ති ගියා.කේක් එහෙම කාලා දැං සර්ට වඳින වෙලාව.දිකා බුලත් අතත් අරගෙන පන්තියේ පිටි පස්සෙ ඉඳලා ඉස්සරහට ආවා.මෙන්න බොලේ විටයාත් ඒ පස්සෙං යනවා.මේක දැකපු ඉබ්බයි සීනි කූරයි ඇහුවා මොකෝ පස්සෙං යන්නෙ කියලා.මූ කියනවා බුලත් අත ඉල්ල ගන්නලු.අපි නොදන්න චෙස් 🙂 .කූරයි ඉබ්බයි එකතුවෙලා ඒ වෙනකොටත් ගෙදරිං දාලා තිබුන කුමාර කෑල්ලට ඉස්සරහින් බුලත් විට කුමාර කියලා දැම්මා.හරියට තෙල් බාලා වගේ.බුලත් විට කුමාර කියන එක දිග වැඩි නිසා ඒ වෙලාවෙම ඒක මොඩිෆයි කළා විට කුමාර කියලා.විටේ එදා නං දිකා පස්සෙං ගිය එකට චාටර් වෙලා රතුත් වුනා.

පියතිලක සර්ගේ පන්තිය ඇරුනම ගොඩ දෙනෙක් බොරැල්ල පැත්තට තමා ගියේ. සීනි කූරයි, විට කුමාරයි, රෝෂිනීයි කොට්ටාව පැත්තටයි ගියේ.ගෙදර යන්න හදිස්සි වුනාම විටේ ඉක්මණටම පාර උඩිංම 174ක එල්ලෙනවා. සීනි කූරා ජනේලෙං ජනේලෙට එළියේ ඉඳං විටේ බස් එක ඇතුලේ ඉන්න හරියට කිට්ටු වෙනවා. කිට්ටු වෙලා ඒ හරියේ ඉන්න තරුණ කෙනෙක්ව හොයාගෙන මෙහෙම කියනවා.

සීනි කූරා: මේ අක්කෙ (කාන්තාව බලයි), අර අරයා (විටේව අතින් පෙන්වයි. කාන්තාව ඒ දෙස බලයි), ඕකා ජැක් කාරයා.

විටයත් අක්කාත් හෝ ගාලා ලැජ්ජාවෙං ඇඹරෙනවා. බස් එකේ ඉන්න මිනිස්සු හෝ ගාලා හිනාවෙනවා 😛 .ඊළඟ දවසේ විටයා සීනි කූරට පලු යන්න බණිනවා.

තව සමහර දාට ගෑනු කෙනෙක් ළඟපාත නොහොටියොත් කූරා අංකල් කෙනෙක්ට කතා කරලා විටයව පෙන්නලා කියනවා ඕකා පොකට් කාරයෙක් කියලා.විටයට මේ වැඩේ කීප පාරක්ම වුනා 😛 .

හිහ් හිහ්…කූරගේ වැඩ තමා ඉතිං. අපි බඩ පැළෙන්න හිනා වෙනවා.

කෙළිංම ගිහිං වමට හැරෙන්න

ඉබ්බ combined maths ක්ලාස් ගියේ පැළවත්තේ පියතිලක සර්ලගේ ගෙදරට. ඒක ගෲප් ක්ලාස් එකක්. 30කට වඩා ඉන්න ඇති මගෙ හිතේ. බාගෙකටත් වඩා ග්‍රෙගරි මහත්තයගේ පාරෙ තියන ඉස්කෝලෙට ගියේ. ඉබ්බලගේ පන්තිය පටං ගන්නෙ හවස 6ට. හයේ ඉඳලා රෑ 8 වෙනකං තමා පන්ති තියෙන්නෙ. සඳුදා applied. සිකුරාදා pure.ටියුෂන් පන්තියෙත් මරු කට්ටියක් හිටියා. පියතිලක සර්ගේ පන්තියේ කතාත් හිමීට ලියන්න තමා ඉබ්බගේ කල්පනාව.මේවත් ඒ රස කතා වලටම තමා අයිති 🙂 .

එදා ඉබ්බ පන්ති ගිය මුලම දවස. හරියටම කියනවනම් 2000හේ ජනවාරි 10 වෙනි සඳුදා(මේ ඊයෙ පෙරේදා ඒ පොත කබඩ් එකක් අස්සෙ තිබිලා හම්බුනා 🙂 ). ඉබ්බ කලින්ම ගිහින් සර්ගේ ඉබ්බලට උඩ බැච් එක ඇරෙනකං ගේට්ටුව ගාවට වෙලා හිටියා.ටික වෙලාවකින් පොත් මිටියක් අරගෙන සීනි කූරත් ආවා. තවත් ටිකකින් මෙන්න බොලේ හොර අලියා එනවා.දැං තුන්දෙනාම කතා කර කර ඉන්නවා.ටික වෙලාවකින් කිසිම හේතුවක් නැතුව හොර අලියා ඉබ්බයි සීනි කූරයි හිටපු තැනිං පොඩ්ඩක් එහා තණකොල ගොඩක් උඩට ගිහින් ආවා. හොර අලියා මොකටද තකහනියක් එතනට ගියේ කියලා ඉබ්බටවත් සීනි කූරටවත් තේරුනේ නෑ.මෙන්න බොලේ ඊට පස්සෙ බලනකොට හොර අලියා බලු ජරාවක් පාගගෙන ඇවිල්ලා.බලු ජරාව අහක හිටපු හොර අලියව ඇදලා අරං පෑගෙවුවා වගේ තමා පෙනුනේ. ඉබ්බයි සීනි කූරයි ඇතිවෙන්න හිනා වුණා. හොර අලියත් රතු වුණා.

පන්තියේ සීනි කූරයි හොර අලියයි ඉබ්බයි හැමදාම ඉඳගත්තෙ දෙවෙනි පේළියෙ. පළවෙනි දවසේ ඉඳලා අන්තිම දවස වෙනකම්ම.දවසක් පන්ති පටං ගන්නකොට හොර අලියා ඉබ්බටයි සීනි කූරටයි කිවුවා ටොයිලට් යන්න ඕනෙ කියලා. ඉබ්බයි කූරයි ඉතිං එච්චර ගණං ගත්තෙ නෑ.ළඟපාතක පේන්න ටොයිලට් එකක් තිබ්බෙත් නෑ. සර්ගෙ ගෙදර පිටිපස්සෙ හදපු වෙනම කෑල්ලකයි ක්ලාස් තිබ්බෙ.ඒ කාලෙ අර කරන්ට් කපන කාලෙ.සර් චාර්ජ් වෙන ලයිට් හයි කරනකං ඉටි පන්දම් වලින් තමා පන්තිය එළිය කළේ.දැං පන්තියේ මැදක් ගිහින්. හොර අලියා ඉබ්බගේ කණට කරලා කිවුවා

“දැං නම් ගොඩක් අමාරුයි මචං සර්ට කියපන්කො” කියලා.

හත් දෙයියනේ, කොහොම සර්ර්ට කියන්නද? ඒ මදිවට ඉස්සරහම පේළියෙ ඉඳං? එහාපැත්තෙ කෙල්ලො සෙට් එකකුත් ඉන්නවා. ඒ කාලෙ දන්නෙ නැද්ද, ලැජ්ජයිනෙ.ඉබ්බත් හ්ම් නොකිය හිටියා.බැරිම තැන හොර අලියා කූරට කිවුවා.

කූර කියනවා “කොහොමහරි තද කරගෙන හිටපං මචං, තව පොඩ්ඩයිනෙ” කියලා.

ඌටත් මේක කියන්න ලැජ්ජයි.දැං හොර අලියා එහාට ඇඹරෙනවා, මෙහාට ඇඹරෙනවා. ඉන්නම බැරි තැනට ඇවිත්. මට මේ දැනුත් රතු වෙලා කරත්ත රෝදෙට අහු වෙච්ච කජු ගෙඩිය වගේ තිබ්බ හොර අලියගේ මූණ මැවිලා පේනවා 😛 .තත්වය එන්න එන්නම දරුණු වුනා. මේ කේස් එක නිසා ඉබ්බට උගන්නන ඒවා ඔළුවට යන්නෙත් නෑ.හොර අලියට මෙතනම ගියොත් එහෙම මාර සීන් එක.

බැරිම තැන ඉබ්බ අතක් බාගෙට උස්සලා “සර්…” කිවුවා.

සර් ඉබ්බ දිහා බැලුවා.

සීනි කූරා බංකුවේ එහා කෙළවරේ ඉඳලා හොර අලියව අතින් පෙන්නලා “සර්…මේ මෙයා…” කිවුවා ඉතරයි මෙන්න බොලේ පැනපු ගමං සර් එහා පැත්තෙ තිබුණ දොරක් පෙන්නලා කියාපි

“ආ…ඔය ඔතනිං කෙළිංම ගිහින් වමට යන්න” කියලා.

පියතිලක සර්ට කොහොම දිවැස් පහළ වුණාද මන්දා.ඊට පස්සෙ ඉබ්බ දැක්කෙ හොර අලියා බංකුවෙන් අතුරුදහන් වෙලා විනාඩි 10කට ඉතර පස්සෙ දොරෙං මතු වෙනවා ඉතරයි.සර්ගෙ කතාවෙං පස්සෙ කට්ටියට හිමීට ක්ලික් වුනා මොකද වෙන්නෙ කියලා. දැං හොර අලියා පන්තියේ නෑ. පිටිපස්සෙ කට්ටිය හම්… ගානවා, මීක්…ගානවා, එකේක සද්ද.සමහරු හිමීට ඇහෙන්න නෑහෙන්න අහනවා ඒ…මොකද වුනේ? කියලා.හීන් හිනාවලුත් ඒ අතර ඇහෙනවා.ඉබ්බයි සීනි කූරයි තොල විකාගෙන බෝඩ් එක දිහාම බලාගෙන හිටියා.ටික වෙලාවකින් හොර අලියා මුකුත් වුනේ නෑ වගේ ඇවිත් බංකුවේ වාඩි වුනා. දැන් පොඩි පොඩි කසු කුසු ඇහෙනවා.විනාඩියකිං ඉතර පියතිලක සර් ඇතුලට ගියා. දැං පන්තියේ සද්දෙ.

පිටි පස්සෙ හිටපු ඌරා හරි, මයියා හරි හයියෙන් කිවුවා “ආ…සර් වතුර පාරක් ගහන්න ගියා” කියලා.

මුළු පන්තියම බක බක ගාලා හිනා වෙනවා.

කවුද මන්දා පිටි පස්සෙ ඉඳලා හයියෙන් කියනවා “ආ…කෙළිංම ගිහින් වමට යන්න…” කියලා.

ඔක්කොමලා ආයිත් හිනා වෙනවා. කොහොමහරි වැඩි හරියකට උත්තර බඳින්න වුනේ කූරටයි ඉබ්බටයි. කූරයි ඉබ්බයි හොර අලියට බණිනවා මොනාද යකෝ කළේ කියලා. කොහොම කොහොම හරි ඊට පස්සෙ හොර අලියව දැක්කම කට්ටිය කියන්නෙ

ආ… මචං, කෙළිංම ගිහිං වමට හැරෙන්න කියලයි 😛 .