මන්දෙ ඔය මොකද කරන්නෙ මම අම්මට කියනවා…

මේවා අමු අමුවේ මෙහෙම කියන්නත් නිකං මොකක්ද වගේ. දැං ඉතිං ඉස්කෝලෙං අවුට් වෙලත් අවුරුදු 16ක් වෙච්ච එකේ දැං මේවයේ කතා නායකයන්ගේ කතෲ අයිතිය පබ්ලික් වෙලා ඇති කියලා හිතලා කියලා දානවා.

දවසක් මන්දෙ ඉතිං යටට අඳින්නෙ නැතුව (එහෙම තමා ඉතිං කතාවෙ කියවෙන්නෙ) ඉස්කෝලෙ ඇවිල්ලා. පිටි පස්සෙම පේළියට වෙලා කලිසමේ සිප් එක උඩිං අත ගගා ඉන්නවලු. මන්දෙලාගෙ ක්ලාස් ටීචර් හරිම හොඳයි. අරණායක මැඩම්. මේක බලං ඉන්න බැරිම තැන අරණායක මැඩම් කිව්වලු

මන්දෙ, ඔය මොකද කරන්නෙ මම අම්මට කියනවා

කියලා. මන්දෙගේ අම්මා ඒ දවස් වල ඉස්කෝලෙ ඒ ලෙවල් පන්ති වලම ඉගැන්නුවා.

මන්දෙ සේරම පැත්තක තියලා ඒ විදියටම සිප් එක අතිං මිරිකගෙන නැගිටලා ඩෙස්ක් එක උඩිං යූ එකක් ගහලා නැමිලා බලනවලු ඌ කරන වැඩේ ඩෙස්ක් එක යටිං මැඩම්ට පේනවද කියලා. කීප පාරක් මන්දෙ බැළුවාලු මේක ඩෙස්ක් එක යටිං හරියටම පේනවද කියලා. වටේ පිටේ වාඩි වෙලා හිටපු එවුන් අමාරුවෙන් හිනාව නවත්තගෙන හිටියාලු.

Advertisements

ඔවු මම එයාට එහෙම තමා ඉන්න කියලා තියෙන්නෙ

ඔන්න ඉතිං මේක ආදි කාලෙ ඉබ්බගේ ඉස්කෝලේ යාලුවෝ සෙට් එකකට වෙච්ච කතාවක් (හත් ඉලව්වේ, ඉබ්බත් දැං සෑහෙන වයසට ගිහිල්ලනෙ). ඉබ්බට මතක විදියට මේ සෙට් එකෙ මන්දෙත් හිටියා. ඔන්න කට්ටිය නුගේගොඩ ඒ ලෙවල් ටියුෂන් පන්තියක් ඉවර වෙලා නැග්ගාලු මහරගම පැත්තට යන 138 බස් එකක. ෂා… ලස්සන ගෑනු ළමයෙක් ඉන්නවලු බස් එක මැද හරියෙ සීට් එකක වාඩි වෙලා. දැං ඉතිං කට්ටියට හරිම කිචි වගේලු. ගිහින් එතන අහල පහළ වටේට හිට ගත්තලු. දැං පොඩි පොඩි විහිලු කතා හයියෙන් කිව්වට ගෑනු ළමයාගෙන් නෝ රෙස්පොන්ස් ලු. බීරියි වගේ ඉන්නවලු. මූණෙ කිසිම එක්ස්ප්‍රෙෂන් එකක් වත් නැති නිසා කට්ටියම දැං ෆුල් මානසිකව වැටිලා දණිස් තුවාල වෙලා ඉවසීමත් අන්තිමට ආවලු.

එකෙක් ඇහුවලු

මේ නංගි, අපි මොනා හරි කියනකොට ඔයාට අම්ම කුඩෙත් ඔඩොක්කුවේ තියං ඔහොමද ඉන්න කියල තියෙන්නෙ

කියලා. කෙල්ල ඒත් සද්දයක් නෑලු. ක්ෂණයකින් එතනම පිටි පස්සෙ සීට් එකේ ඉඳගෙන හිටපු ඇන්ටි මහ හයියෙන් කිව්වලු

ඔවු මම එයාට එහෙම තමා ඉන්න කියලා තියෙන්නෙ

කියලා. ඊළඟ හෝල්ට් එකේ බස් එක නවත්තන්නත් කලින් සෙට් එකම බැහැලා ඌර්ධවපාතනය වුනාලු.

කෝ මන්දෙ බෑග් එක?

ඉබ්බගෙ පන්තියෙ හිටපු අමතක නොවෙනම චරිතයක් තමා මන්දෙ. මතකනේ ඉබ්බා මන්දෙගෙ පොඩිකාලෙ කතාවකුත් කිවුවා. ඉබ්බගෙ 10, 11 පන්තියෙත් මන්දෙ හිටියා. මන්දෙ හොඳ මීටරේ. මන්දෙ හිටියේ ශක්තිය අවම මට්ටමේ. අත පය හකුළුවාගෙන ශක්තිය අවම විදියට වැය කරගෙන තමා මන්දෙ ඉන්නෙ. පවර් එක ඕන වුනාම මන්දෙගේ ස්ටෝරේජ් එකේ හොඳට පවර් තිබ්බා.

ඉබ්බගෙ පන්ති භාර සර් සෑම්. සෑම් නියම ගාණට ගෝලයන්ව ආශ්‍රය කළා. අඩුත් නෑ, වැඩිත් නෑ.ඉබ්බට ජීවිතේ හම්බ වුනු හොඳම, මතක හිටිනම ගුරුතුමා තමයි සෑම්. සෑම් ගැන ලොකු කතාවක් තියනවා ඉබ්බට කියන්න. ඒත් ඒක පස්සෙ කියන්නම්.

ඉතිං මන්දෙගේ සිරා සිරා වැඩ තිබ්බා. පන්තියේ ඩෙස්ක් 5-6ක් යට මන්දෙගෙ පොත් තිබ්බා. ඒවා මන්දේ කවදාවත් ගෙදර ගෙනියන්නේ නෑ. එදාට ඉඳ ගත්ත තැන ඩෙස්ක් එකේ තියන පොතේ ඔක්කොම සබ්ජෙක්ට් ලියනවා. ඉස්සරහ ඉඳං පිටි පස්සට සිංහල. පිටි පස්සෙ ඉඳලා ගණං, මැද ඉඳලා ඉස්සරහට සමාජ අධ්‍යනය, මැද ඉඳලා පස්සට විද්‍යාව. ඔය වගේ තමා මන්දෙගේ වැඩ.

දවසක් උදේම පළවෙනි පීරියඩ් එකේ සෑම් රෙජිස්ටරේ මාර්ක් කරනවා. මන්දෙ ටිකක් පරක්කු වෙලා අත් 2ක වන වන පන්තියට එනවා. සෑම් බැළුවා මන්දෙ දිහා. මන්දෙ හිනාවක් දාලා ආ… සර්… කිවුවා.

සෑම්: මන්දෙ කෝ බෑග් එක?

මන්දෙ: අම්මටසිරි, අමතක වුනානෙ (හිසට අත ගසා ගනියි).

මන්දෙගෙ හැටි දන්නා සෑම් ආයාසයෙන් සිනහව මැඩගෙන

සෑම්: දුවනවා. ගිහින් අම්මගෙන් ලියුමක් අරන් එනවා (සැරෙන්)

මන්දෙ: සර් මොනවා කියලද?

සෑම්: සමාව ඉල්ලලා.

මන්දෙ සිය මව උගන්වන උසස් පෙළ පන්ති බලා පිටත් වෙයි. මන්දෙ යනතුරු සිටි සෑම් “අනේ මේ කොල්ලො නිසා අම්මලටත් රස්සාවක් කරගන්න නෑ” යයි කියයි. විනාඩි 20කින් පමණ මන්දෙ කොල කෑල්ලක් අතැතිව පැමිණෙයි. සෑම් හඩ නගා ලියුම  කියවයි.

“මගේ පුතා අතපසු වීමකින් පාසල් පොත් බෑගය ගෙදර දමා පැමිණ ඇත. අදට ඔහුට සමාව දෙන්න. මීට මව” කියා අත්සන යොදා ඇත.

සිනහව මැඩ පවත්වා ගන්නා සෑම් තදින් “හ්ම්… ගිහින් වාඩි වෙනවා” යයි මන්දෙට කියයි. මන්දෙ “එහෙනං හරි නේද සර්” යයි කියමින් පුටුවට යයි.

ඉබ්බට එතෙක් මෙතෙක් කොහේදිවත් පාසල් පොත් බෑගය අමතක වී පැමිණි සිසුවෙකු මන්දයා හැර හමු වී නැත 🙂 .

මන්දෙලගෙ තාත්තා පැනලා ගිහිල්ලා

ඉබ්බට මතක හිටින සිරා සීන් වෙන්න පටන් ගත්තේ 2ක වසරෙදිද මන්දා. 2ක වසරෙ පන්තියට ගියාම ඉතිං ඔන්න ආයෙත් අළුත් බට්ටොත් එක්ක සෙට් වෙන්න සිද්ධ වුනා. ඉබ්බා ඉතිං ඒ කාලෙ ටිකක් ඉතර ලැජ්ජ, සද්ද බද්ද අඩු ඉබි පැටියෙක්.දවසක් මොකක්දෝ හේතුවකට පන්තියේ කට්ටියව එලියට දැම්මා. එසෙම්බ්ලි එකක් වගේ යාන්තම් මතකයි. දැං කට්ටිය ඔක්කොම පේලියෙ ගිහින් වාඩි වුනා පොඩි පංති වලට නැටුම් උගන්නපු තරමක් ලොකු හෝල් එකේ. වැඩේ පටන් ගන්න කලිං දැං ඔන්න කට්ටිය කතා කරනවා. ඉබ්බට ළමයෙක් එහායින් හිටපු ළමයා බොහොම නිදහසේ ගෙදර වගේ හැසිරෙනවා. එයාගෙ අම්මා ග්‍රෙගරි මහත්තයගේ පාරෙ තියන ඉස්කෝලෙම උගන්වන බවත් එයාව බලන්න පංතියට යන එන බවත් ඉබ්බා දන්නවා. ඒ ළමයා ටික වෙලාවකින් බොහොම සුහදව ඉබ්බගෙන් තොරතුරු ඇහුවා. ඉබ්බත් ඉතිං ඇත්තම විස්තර කිවුවා. මේ ළමයා පසු කාලීනව මන්දෙ කියන නමින් බොහෝම ජනප්‍රිය වුනා. දැං ඉතිං ඉබ්බත් මේ ප්‍රිය මනාප ළමයට ප්‍රශ්නයක් යොමු කරන්න එපෑයැ.

ඉබ්බා: ඔයාගෙ අම්මා මේ ඉස්කෝලෙම නේද උගන්නන්නේ?

මන්දේ: (සිනාසෙමින්) ඔව්

ඉබ්බා: එතකොට ඔයාගේ තාත්තා?

මන්දේ: ආහ්… තාත්තද මචං (ලොකු අයියලා දෙන්නෙක් හිටපු නිසාද මන්දා මන්දේ ඒ දවස් වලත් මචං වචනේ පාවිච්චි කළා. ඉබ්බට මුලින්ම මචං කියන්න ඇත්තේ මන්දෙ වෙන්න ඕන), මාර වැඩක් වුනානේ, තාත්තා අපේ ගෙදර වැඩ කරන ගෑණිත් එක්ක පැනලා ගියානෙ (මන්දේ හෝ ගාලා සිනාසෙයි).

ඉබ්බව කැරකී ඇඹරී ගියේය. ප්‍රතිචාර වශයෙන් යමක් කීමට ඉබ්බාට හිතා ගැනීමටත් බැරිය. හදවත යන්තම් ඩිග් ඩිග් ගෑවා වාගෙත් මතකය. කෙටියෙන් කියනවා නම් මන්දයාගේ කතාව ඉබ්බට ඔහු ගැන යම් චකිතයක් ඇති කළා. නොනවත්වා සිනාසෙන මන්දයා දකින් ඉබ්බගේ චකිතය තවත් වැඩිය. තාත්තා පැනලා ගිහිල්ලත් මන්දයා සිනාසෙන එක ඉබ්බට ප්‍රෙහෙළිකාවකි. මන්දයා දුක් විය යුතු යැයි ඉබ්බට හිතුනා.

මන්දයා ඉබ්බව කොච්චර ඇන්දුවද කියනවානම් ඊට පස්සෙ ඉබ්බ මන්දයව ආස්සරේ කළෙත් බොහෝම පරිස්සමින්. මන්දයා 2ක වසරෙදිත් එච්චර ඇඩ්වාන්ස් ඇන්දිලි ඇන්දුවා කියලා ඉබ්බට තේරෙන්න බොහොම කල් ගියා. මන්දයා ලොකු වෙලා සිරා ආතල් දුන්නා (හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ නෙ 🙂 ). ඒවත් මම පස්සෙ කියන්නම්. ඔන්න ඔහොම තමා ඉබ්බට මන්දයව හම්බුනේ.

දැන්නම් මන්දයා කැන්ගරු දේශෙට සංක්‍රමණය වෙලයි ඉන්නේ. මන්දෙගෙ අම්මයි තාත්තායි මීට අවුරුදු 3කට ඉතර කලිං මම අනුරාධපුරේ ශ්‍රී මහා බෝධිය ළඟදී දැක්කා. වැඩකරන මනුස්සයා නම් කොහෙද දන්නෙ නෑ 😛 හික්…