ගුච්ඡිකලගෙ ගෙට නයෙක් ඇවිත්!

ඉබ්බගෙ අටේ පන්තියේ හිටිය හෙන ඇක්ටිව් යාළුවෙක් තමා ගුච්ඡික. යාළුවෙක් හරි ටීචර් කෙනෙක් හරි වැඩක් කිව්වොත් ගුච්ඡික ක්ෂණයෙන් වැඩේට බහිනවා. කොටිංම ගුච්ඡික ඕන දේකට පැනලා. ඒ වුනාට ගුච්ඡික ගොට්ටෙක් නෙවෙයි. ඒ ගුච්ඡිකගේ හැටි. නිතර සිනා මුසු මුහුණින් ඉන්න ගුච්චික ඉබ්බට දවස් කීපයක්ම පොඩි පොඩි නයා පාරවල් දැම්මා. ගුච්ඡිකගේ තාත්තා ටිකක් ලොකු ව්‍යාපාරිකයෙක්. ඉතිං ගුච්ඡික විවිධ ක්ෂේත්‍ර අලලා සමහර විට එකිනෙකට නොගැලපෙන නයා පාරවල් දැම්මා. ඉබ්බා හිතුවා මේකට වැඩක් දෙන්න ඕනෙ කියලා.

ඉබ්බගෙ ලොකු අක්කගෙ නම යක බණ්ඩා(ඒක තමා එයාගෙ කාර්ඩ් එක. හිහ්… 🙂 ). එයා ඉබ්බට වඩා අවුරුදු 7ක් ලොකුයි. ඒගොල්ලන්ගේ කාලෙ සිංහල පාඩම් පොතේ තිබුණා මුදලාලිගෙ ගෙට නයෙක් ඇවිත් කියලා පාඩමක්. ඒකෙ තිබ්බෙ මුදලාලි කෙනෙක් ගමේ මිනිස්සුන්ට තම පුරාජේරුව කියන හැටි. මුදලාලි ඒකට යොදා ගන්නේ නයෙක්ව. නයා ඇවිල්ලා ටෙරාසෝ කළ පොලව දිගේ ලිස්සලා ගිහිල්ලා, අළුතෙං පැන්ට්‍රි කබඩ්ස් ගහපු පැන්ට්‍රි එකේ ෆ්‍රිජ් එක ළඟ පෙනේ පුප්පං ඉන්න කොට කවුදෝ ෆ්‍රිජ් එක ඇරියම ඌ ඒකෙ පිරිලා තිබුණ හැම්, බේකන්, ඇපල් දිහා බලං ඉඳලා, එංගලන්තේ ඉගනගෙන ආපු පුතාගෙ අළුත්ම බෙන්ස් එක උඩිනුත් ගිහිල්ලා ආදී වශයෙන් මුදලාලි නයා යවනවා(ඒක ලස්සන කතාව).

ඉබ්බට හොඳ වැඩක් මතක් වුනා. ඉබ්බා පාඩමේ මුදලාලි කියන එක මකලා ලිවුවා ගුච්ඡික කියලා. දැං පොතේ තියෙන්නේ ගුච්ඡිකලගේ ගෙට නයෙක් ඇවිත් කියලා. පහුවෙනිදා ඉබ්බා ඉස්කෝලෙ ගිහින් ෆ්‍රී පීරියඩ් එකකදි යාළුවන්ට පාඩම පෙරළලා ගුච්ඡික ගැන කතාවක් තියනවා කියලා දුන්නා. මෙන්න බොලේ ටික වෙලාවක් යනකොට කට්ටිය පොර කකා පොත කියෝනවා. ලස්සන වැඩේ කියන්නේ ගුච්ඡිකත් පොර කකා හිකි හිකි ගගා ඒක කියෝනවා 🙂 . එදා ගෙදර යන්න කලින් ගුච්ඡිකට කාර්ඩ් එක වැටුණා නයා ගුච්ඡික කියලා. ඒ දවස් වල ඉබ්බලගේ පන්ති වල ගුච්ඡිකලා ගොඩක් හිටියා. ගුච්ඡික කිව්වාම කට්ටිය අහන්නේ කවුද නයාද? කියලයි.

නයා කියන නමින් ගුච්ඡික ඉතා ප්‍රසිද්ධ වුනා. අවට පාසල් වලයි, ටියුෂන් පන්ති වලයි, ගුච්ඡික උසස් අධ්‍යාපනය ලබපු ආයතනයෙයි  හැමතැනම හිත හොඳ නයෙක් හැටියට ප්‍රසිද්ධ වුනා. ගුච්ඡික දැං ඔරක් බබාමලගේ දේශෙට සංක්‍රමණය වෙලයි ඉන්නේ. ගුච්චිකට දැන් චූටි නයි පැටියෙකුත් ඉන්නවා! 😛

නයා කියන එක තමා ඉබ්බා මුලින්ම යාළුවෙකුට දාපු කල් පවතින කාර්ඩ් එක. සමහර යාළුවන්ට නම් දාන්න ගිහිල්ලා ඉබ්බා කට්ට කුඩු කරගත්ත නැති එක විතරයි 🙂 හිහ්…

Advertisements