අපේ තාත්තගෙ දුවෙක්…

ඔන්න සුපුරුදු පරිදි දවසක් ඉබ්බයි ඔෆිස් එකේ යාළුවො ටිකයි ගියා දවල්ට කන්න. ඒ දවස් වල ඉතිං වැඩිපුරම කලේ කන ගමං කතා කරන එක නෙවෙයි කතා කරන ගමං කන එක. හිහ්…ප්රධාන වැඩේ කන එක නෙවෙයි කතා කරන එක.කතාවෙං කතාව කැරකිලා කැරකිලා ආවා ටියුෂන් කතාවක්.පන්ති ගියපු සර්ලා ගැන කතාව ඇදිලා ආවා කළුවා ගාවට.

බ්රහ්මයා: අපෝ ඕකා මහ මැර ඩයල් එක. දන්නවද? බැන්දෙ ක්ලාස් ආපු හෙන පොඩි කෙල්ලෙක්ව.ඒකත් බලෙන්ම වගේ තමා බැන්දෙ.

ජුන්ඩා: කවුද බං කෙල්ල?

බ්රහ්මයා: අපේ තාත්තගෙ දුවෙක් (කිරි අප්පට බල්ලො පැනපි…)

ඉබ්බා: ඈහ්…දැං ඔය සීන් එක උඹලගෙ අම්මා දන්නවද? උඹලගෙ තාත්තට දුවෙක් ඉන්නව කියලා?

(බ්රහ්මයට අපි දන්න තරමිං හිටියෙ මල්ලි කෙනෙක් ඉතරයි.අක්කා කෙනෙක් වත් නංගි කෙනෙක් වත් නෑ)

සීන් එක බලනකොට බ්රහ්මයට හදිස්සියට දිව පැටලිලා වචනයක් හැලිලා.බුවාට කියන්න ඕනෙ වෙලා තියෙන්නෙ අපේ තාත්තගෙ යාළුවෙක්ගේ දුවෙක් කියලා.යාළුවා හැලිලා.හිහ්..හිහ්…තව පොඩ්ඩෙන් අලි ජරමරයක් වෙන්නෙ උංගෙ අම්මා දැනගත්තා නම් එහෙම :D.

daughter

Advertisements

විනිවිදිමි වීදුරුව…

සිරිපාල තමා ඉබ්බගෙ ක්ෂීරපථ විද්‍යාලෙ ඉඳලම යාළුවා. සිරිපාල ගැන ඉබ්බා කලිනුත් ලියල තියනවා. සිරිපාලගෙ සම්පූර්ණ නම ශෝන් සිරිපාල. සිරිපාල පොෂ් ලලනාවියන්ට බැල්ම හෙලනකොට අපි ශෝන් කියලා කතා කරනවා. ඒ ලෙවල් එකට නොහිටියොත් වැඩේ කර ගන්න බෑනෙ. දෙකේ කොලේට දාලා බයිට් කරන්න ඕනෙ වුනාම නිකම්ම නිකං සිරිපාල වෙනවා.

සිරිපාල ක්ෂීරපථ විද්‍යාලෙට ඇවිත් මුලින්ම සෙට් වුනේ අතඋඩයි, චම්ලියි, බ්‍රහ්මයයි එක්ක. සිරිපාල ඒ කාලෙ නිකං ප්‍රොෆෙසර් කෙනෙක් වෙයි වගෙ තමා හිටියෙ. ඉබ්බත් බැළුවා කවුද යකෝ මේ හෙන විද්වත් සාකච්ඡා පවත්වන බුවා කියලා.කොහොම කොහොම හරි සිරිපාලයා ඉබ්බට සෙට් වුනා. ඒක තමා සිරිපාලයගෙ අවසානය. පාප මිත්‍ර සේවනය. ප්‍රොෆෙසර් කෙනෙක් වෙන්න හිටපු සිරිපාලයගේ ගමන ඔක්කොම කඩා කප්පල් වුනා.

ඉබ්බයි සිරිපාලයි මුලින්ම වැඩට ගියෙත් එකම කොම්පැනියකට. එතන ඉතිං දවල් කෑමට කැෆේ එකට යනවා. එකතු වෙලා දවල් කෑම කන 10ක ඉතර සෙට් එකක තමා ඉබ්බයි සිරිපාලයිත් හිටියේ. ඔන්න සිරිපාල ඉබ්බට ටිකකට කලින් බෙදා ගෙන ඉඳ ගන්න අනිත් කට්ටිය ඉන්න තැනට යනවා. ඉබ්බත් බෙදාගෙන ඉවර වෙලා බැළුවා කෝ සිරිපාල කියලා. සිරිපාල කඩාගෙන බිඳගෙන අනිත් යාළුවෝ ඉන්න ටේබල් එකට තියන කෙටිම මග ඔස්සේ ගමන් කරනවා. සිරිපාල එහෙම තමා. හෙනට ප්‍රොසෙස් කරළා ඔප්ටිමම් විදියට තමා වැඩ කරන්නෙ.

එක පාරටම පොඩි ඩප්පියක් ගැහුව වගේ පටෝර් ගෑවා.මුළු කැෆේ එකේම හිටපු මිනිස්සු උඩ ගිහින් සද්දෙ ආපු පැත්ත බැලුවා.හත් ඉලවුවයි.සිරිපාලයා අර සුපර් මෑන් බිත්ති අස්සෙන් කන්නාඩි දාලා බලනවා වගේ කෑම පිඟානත් අරන් වීදුරුවකින් එහාට යන්න ගිහින්.

කෑම බාගයක් උගේ ඇඟේ, කාලක් වීදුරුවේ, ඉතුරු ටික පිඟානත් එක්ක බිම. එක පාරට කඩි ගුලක් ඇවිස්සුනා වගේ කිචන් එකේ වැඩ කරන මිනිස්සුයි, වේටර්ලයි ඇයි ඇයි සර් මොකද වුනේ… සර්ට තුවාලද අරකද මේකද කිය කිය දුවගෙන එනවා සිරිපාල ගාවට. උන් සිරිපාලව පිහිදනවා. එක වැඩයි.ඉබ්බා හිමීන්සීරුවේ සිරිපාලව දන්නෙ නෑ වගේ එතනින් ගිහින් අනිත් කට්ටිය ඉන්න ටේබල් එකෙන් ඉඳගත්තා (පාප මිත්‍රයෝ කියන්නෙ නිකං යැ).

දැං කට්ටිය කතාව. අප්පා… සිරිපාලයා අදත් අපේ ටේබල් එකට එයිද? එහෙම වුනොත් ලැජ්ජාවේ බෑ බං කිය කිය කනවා.මෙන්න යකෝ විනාඩි 5 කින් ඉතර මුකුත් වුනේ නෑ වගේ තවත් දඩාර බත් එකක් බෙදාගෙන සිරිපාලය ඇවිත් ඒ ටේබල් එකෙන්ම වාඩි වෙන්න. අනිත් කට්ටිය ඔක්කොම එතන සිරිපාලයා නෑ වගේ මූණු ඔබාගෙන බත් කනවා. කැෆේ එකේ අනිත් කට්ටියගේ අවධානය අයින් වෙනකම් ඉඳලා ටේබල් එකේ වාඩි වෙලා ඉන්න සිරිපාලයගෙන් ජුන්ඩා අහනවා මොකක්ද බං උඹ ඒ කරන්න හැදුවෙ කියලා. සිරිපාලයා කියනවා ඌ හිතුවේ එතන වීදුරු දොරක් තියනවා කියලළු. ඒකළු ඌ ඒක ඇතුලෙන් යන්න හැදුවේ.

ඉබ්බා නම් හිතුවේ අර ඉස්සර කතාවක් තිබ්බෙ සමනල්ලු පියාඹගෙන ගිහින් සිරීපාදෙ ඔළුව ගහගෙන මැරෙනවා කියලා. අන්න ඒ වගේ සිරිපාලත් ඔෆිස් එකේ වීදුරුවක ඔළුව ගහගෙන මැරෙන්න හදනවා කියලයි.හිහ්… 😀

හනුමගෙ බජට් එක

ඉබ්බා ඉතිං කැම්පස් යන කාලෙ ඕනෙ සෙට් එකකට ප්ලගබල්. ඔය ඉන්න කාට කාට හරි තැනට සුදුසු විදියට සෙට් වෙනවා. ඒ වුනාට ඉබ්බගේ කෝ ටීම් එක ඇවිල්ල ඉබ්බයි සිරිපාලයි. ඉතිං මෙහෙම නිතර ප්ලග් වුන සෙට් එකක තමා හනුමා හිටියේ. හනුමා බර කාරයා. කැම්පස් ආවේ වොල්වෝ එකක. හැබැයි ඒකට පෙට්‍රල් ගැහුවේ අපි. ඌ ඕන වෙලාවක එම්ප්ටි පොකට්. පෙට්‍රල් තියා ඌට සමහර දාට කැන්ටිමේ බත් එක කන්න වත් රුපියල් 13ක් තිබ්බෙ නෑ. හනුමගෙ අම්මා ටිකක් වසයි.හනුමයි තාත්තයි නංගියි මල්ලියි ඔක්කොමලා අම්මට භයයි.

ඉතිං හනුමා ඒ දවස් වල යාළු වෙලා හිටියේ පාරෙන් එහා පැත්තෙ තියෙන ෆයිනෑන්ස් ෆැකල්ටියේ සෑහෙන්න ඇහැට කණට පේන ලලනාවක් එක්ක.ලලනාවත් ඉතිං ෆුල් පොෂ්.මේන්ටේන් කිරිල්ලත් ලේසි නෑ වගේ. විජ්ජා පීඨෙ තියනවා ප්‍රසිද්ධ දොඹ ගහක්. ඒකෙ ඉංගිරිසියෙන් බෝඩ් එකක් එල්ලලා තියනවා බොට්නි ඩිපාර්ට්මන්ට් එකේ එවුන්. ඉංග්‍රීසි බෝඩ් එක සිංහලෙන් කියෙවුවාම එන්නෙ ඩොම්බ(Domba) කියලා. ඉතිං කට්ටිය කවුරු කවුරුත් ඒ ගහ හැඳින්නුවේ ඩොම්බ ගහ කියලා.ඒ ගහ වටේට සිමෙන්තියෙන් බැම්මක් බැඳලා තියෙන්නෙ. ඒ බැම්මත් වාඩි වෙලා අල්ලාප සල්ලාපයේ යෙදෙන අයගේ හොඳ තැනක් තමා. ඉතිං ඔන්න දවසක් 10ක 12ක සෙට් එකක් ඔතන වාඩි වෙලා හිටියා.ජුන්ඩා, සුද්ධෝදන, සාධාරණ කොටා නොහොත් තෙල් බේත් කොටා, සිරිපාලයා, අත උඩ,නිලා, හසනි, චනා, සුහේ,   බ්‍රහ්මෙ එහෙමත් හිටියා වගේ මතකයි.කට්ටිය කියෝ කියෝ හොඳ ජොලියේ ඉන්නකොට එකපාරට හනුමා දුවගෙන ආවා.කලබලෙන් වගේ හනුමා ජුන්ඩාට පොතක් දීලා කිවුවා ලලනාව කතා කරනවා, මේ පොත පොඩ්ඩක් තියාගෙන ඉන්න කියලා හනුමා අතුරුදන් වුනා.ජුන්ඩයි සුද්ධෝදනයි බයිලා කියෝ කියෝ ඉඳලා පොත පෙරලන්න පටං ගත්තා. ඒක ඔය මොනාහරි එකවුන්ටිං ලියපු CR පොතක්. ඒ දවස් වල හනුමා CIMA කරන කාලෙ.පොතේ තියන ඒවා ගැන විකාර කතා කිය කිය අන්තිම පිටුවටත් ආවා.මෙන්න මෙහෙමයි ඒකෙ තිබ්බෙ.

අම්මා දුන්නා 100

උදේ කෑම 14

දවල්ට 13

නාරාහේන්පිටට බස් ගාස්තු 6.50

ප්ලේන් ටී 3

……

……

……

ලලනාවත් එක්ක කන්න 48

ඉතුරු 11.75

ගනං හරියටම මතක නෑ. ඒත් ඔහොම තමා තිබ්බෙ 🙂 .

අප්පටසිරි! කිරි අප්පට බල්ලො පැනපි! හනුමා බජට් එකක් ගහලා. ඒ දවස් වල ලවු කරන කාළෙ වියදනුත් සැරයිනෙ 🙂 . උගෙ බජට් එකේ හිඟය පියවන්න තමා අපේ විදේශාධාර අරන් තියෙන්නෙ. ජුන්ඩටයි සුද්ධෝදනටයි මේ වෙලාවෙ ගණ දෙවි නුවණ පහළ වුනා.ගත්තා කොලේ, උඩින්ම ලිවුවා හනුමගෙ බජට් එක කියලා. ගැහුවා මාතෘකාවට යටින් ඉරක්. ඊට පස්සෙ කෙලීන්ම ගියා ෆොටොකොපි ගහන තැනට. ගැහුව කොපි 10ක් 15ක්. ගම් බෝතලේකුත් ගත්තා. ඊට පස්සෙ විජ්ජා පීඨෙ පුරා නෝටිස් බෝඩ් වල ඇලෙවුවා හනුමගෙ බජට් එක. හිතා ගන්න පුළුවන් නේද ඊට පස්සෙ වෙච්ච හරිය. හනුමට ඉන්න නැති වුනා 😀 . විළි ලැජ්ජාවේ සංතෝසෙ බෑ ඕයි….!

හැබැයි හනුමට නම් මේ වැඩේට මළ පැන්නා. ඇයි උගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංගනය වෙලානෙ. අනේ ඉතිං අපි දන්නවායැ ඕවා.බොහොම අමාරුවෙන් තමා ආපහු ඌව යාළු කරගත්තෙ 🙂 .

කතුරුමුරුංගා

මේ වැඩේ වුනේ ඉබ්බගෙ හොඳම ගජ යාළුවෙක් වෙන ජුන්ඩයියට.

ඔන්න ඉතිං ජුන්ඩයි දඩ බුවායි තව කීප දෙනෙකුයි කැම්පස් එකට කිට්ටුව බෝඩිමක ඉන්නවලු.දවසක් උදේ පන්න්දරම ජුන්ඩා නැගිට්ටලු නිදි මරගාතෙම පාන්දරම ලෙක්චර්ස් දාපු එවුන්ට හිතිං බැන බැන ජුන්ඩා ආවලු තේ එකක් හදාගෙන බොන්න කියලා.රස කර කර උදේ තේ එක බොන්න හිතාගෙන උගුරක් බිවුවම තිත්තේ බෑලු.ජුන්ඩා කල්පනා කළාලු යකෝ මේ ඊයෙ රෑත් හොඳට හිටපු මට උණ හැදිලා කට තිත්ත වුනාවත්ද කියලා.ජුන්ඩා අත නලලට තියලා බැලුවලු උණද කියලා.මොන…උදේ පාන්දර ඌ මළ මිනියකටත් වඩා සීතලයිලු.ඒ ගමන බැලුවලු යකෝ මේ ඊයෙත් හොඳට තිබිච්ච කිරි පිටි එක එකපාරට අද වෙද්දි නරක් වුනාවත්ද කියලා.ඒ වෙන්න විදියකුත් නෑනෙ. මේ එක දවසට.කොහොම හරි තේ එක බොන්නත් එපෑ.නිදි මරගාතෙ නිසා තිත්තට දැනෙනවා ඇති කියලා අර කටේ තියන්න බැරි රසම රස තේ එකෙං උගුරු කීපය බීපු ජුන්ඩා ලෙක්චර්ස් ගියාලු.

මොකකද දන්නවද සීන් එක?ඉබ්බ අර ඉස්සෙල්ල කතාවකත් කිවුවේ දඩ බුවා හිතිං දඩ වුනාට ගතිං ඇනෝෆිලස් මදුරුවෙක් වගේ කියලා.දඩ බුවා බැරිම තැන ගිහිල්ලලු සිංහල වෙදෙක් හම්බුවෙන්න මහත් වෙන හැටි අහන්න.වෙදා කියලලු උදේ පාන්දරම කතුරුමුරුංගා කොටලා බොන්න කියලා.ඉතිං දඩ බුවා උදේම(ජුන්ඩා කියන විදියටනම් පාන්දර පහමාරට ඉතර) කතුරුමුරුංගා කොටලා බීලා හෝදන්නෙ නැතුව තියලා ගිය කෝප්පෙට තමා ජුන්ඩා තේ එක දාගෙන තියෙන්නෙ 😛 . ජුන්ඩා බණිනවා වෙදාගෙ අම්මගෙ මුත්තගෙ ඉඳලා.කොහොමත් වෙදාව ජුන්ඩා මතක් කරන හැටියට කිවිසුම් නවත්ත ගන්න පීනස් බේත් ගන්න සිද්ද වෙන්න ඇති 🙂 .දඩ බුවා ඇඟ හදාගන්න හැමදාම උදේට උදේට කතුරුමුරුංගා බීලා තියෙන්නෙත් බෝඩිමේ කට්ටියට හොරෙං.මේ කතාවෙං පස්සෙ දඩ බුවාට සතියක් ඉතර කැම්පස් එක පැත්තෙ එන්නත් අමාරු වුනා.ඇයි කට්ටිය කතුරුමුරුංගා පොවන්න හදනවනෙ 😛 .

මේ කතාව කියවන ඇඟ හදා ගන්න කැමති කට්ටිය ඉන්නවා නං උදේම කතුරුමුරුංගා කොටලා බිවුවට වරදක් නෑ ඕං.හිහ්…. 😀