ෆාතිමා

අවුරුද්දෙං භාගෙකුත් ගියා. දැං ඉබ්බට අටේ දෙවන වාර පරීක්ෂණේ. ඉබ්බගේ පන්තියට අල්ලපු පන්තිය දෙමළ මාධ්‍ය පන්තියක්. මෙන්න බොලේ දවසක් ඉබ්බට වඩා බාලයි වගේ පේන ගෑණු ළමයෙක් කොරිඩෝර් එක දිගේ ඇවිදගෙන යනවා. ඉබ්බගේ ඉස්කෝලෙ ඉතිං මිශ්‍ර පාසලක් නෙමෙයිනෙ. ගෑණු ළමයෙක් ඉස්කෝලෙට ආවා කියන්නේ කට්ටියට ඉතිං මාර චූන් 😛 . දැං කට්ටිය කොක්කු වගේ බෙලි දික් කරගෙන තුෂ්ණිම්භූත වෙලා බලාගෙන ඉන්නවා.

බැලින්නම් එහා පන්තියේ මැඩම් එයාගේ දුවව එක්කන් ඇවිල්ලා. කොහොම කොහොම හරි කතා කැරකිලා ඇවිල්ලා ඉබ්බවත් අල්ලලා කතාවක් හැදුනා. දැං කට්ටිය මේ ළමයගෙ නමවත් දන්නේ නෑ. කවුදෝ එකෙක් නමක් දැම්මා ෆාතිමා කියලා(මට හිතෙන්නේ හොර අලියා වෙන්න ඕනා). දැං ෆාතිමා දිගටම අම්මත් එක්ක හැමදාම එනවා. ෆාතිමා ඉගෙන ගත්තේ ඉබ්බලගේ ඉස්කෝලේ පේන දුරින් තිබුන අන්තර්ජාතික ඉස්කෝලෙක. ෆාතිමා එනකොට යාළුවෝ ඉබ්බට ලයින් දෙනවා. ටික දවසකින් ෆාතිමා කොරිඩෝර් එක දිගේ යනකොට යාළුවෝ ඉබ්බට හයියෙන් ෆාතිමා කියලා කතා කරනවා. බලන්න ඕනා ඒ දවස්වල කට්ටියගෙ වැඩ. ෆාතිමා එනකොට දඟලනවා, සද්ද දානවා, එක විකාරයයි(දැං මතක් වෙනකොට හිනාත් යනවා 🙂 ). කොහොම හරි ඉබ්බට ෆාතිමා කියලා කාඩ් එක වැටුනා.

ඒ දවස් වල තරුණ වයසේ හිටිය සිංහල උගන්නපු ඉබ්බලගේ අරලිය මැඩමුත් හිටපු ගමන් ඉබ්බට ෆාතිමා කියලා කතා කළා(මැඩම් ඉබ්බලගේ පන්තියත් එක්ක ෆිට). ෆාතිමා ගැන විස්තර හොයාගෙන එන අනෙක් පන්ති වල යාළුවන්ට ඉබ්බගේ යාළුවෝ තත්වේ පැහැදිලි කරලා දුන්නා. ඒකෙං මේකෙං ඉබ්බා ෆාතිමා කියලා සෑහෙන ප්‍රසිද්ධියට පත් වුනා.

ඉබ්බට ෆාතිමා කාඩ් එක වැටිලා දැං අවුරුදු 15කටත් කිට්ටුයි. තාමත් කලාතුරකින් මග තොටේදි ‘ෆාතිමා’ කියලා කතා කරනවා ඇහිලා හැරිලා බැලුවම ඒ කාලෙ පන්තියේ හිටපු යාළුවෙක්  හිනා වේගෙන ඉස්සරහට එනවා. ඔන්න ඔහොම තමා ඉබ්බ ෆාතිමා වුනේ. හොර අලියනම් තාමත් ඉබ්බට කියන්නේ ‘ෆාති’ කියලා.

ෆාතිමා කාඩ් එක නිසා ඉබ්බගේ ජැක්සන් කාඩ් එක හිමීට සමනය වෙලා ගියා 🙂 .

ජැක්සන්…ජැක්සන්…කෝ මේ බළල් තඩියා…

කොහොම කොහොම හරි ඉබ්බා 8 වසරටත් පාස් වුනා.එතෙක් කල් හිටපු හොඳම පන්තිය තමා අටේ පන්තිය. ඒ පන්තියෙදි මරු මරු වැඩ ගොඩක් වුනා. අට වසරෙදි ඉබ්බ ටිකක් ජනප්‍රියයි.

පන්තියේ ප්‍රිෆෙක්ට්ව තෝරන්න පන්ති භාර ගුරුතුමිය ටීචර්ලා අතරයි ළමයි අතරයි ඡන්දයක් තිබ්බා. එක සර් කෙනෙක් ඇර අනිත් අය ඔක්කොම ඉබ්බට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරලා තිබුණා. ඉබ්බත් පුළු පුළුවන් විදියට අප්සට් කේස් වලදී කොල්ලන්ව ගොඩ දැම්මා.දැං ඔන්න ඉබ්බත් බැජ් එකක් එල්ලගෙන පන්තියේ ඉන්නවා.

දවසක් ෆ්‍රී පීරියඩ් එකක් වෙලාවේ කට්ටියගේ සද්දෙ පොඩ්ඩක් වැඩි වුණා. පන්තිය බලන්න සීනියර් ප්‍රිෆෙක්ට් කෙනෙක් ආවා. ඉබ්බගෙ ඉස්කෝලෙ සීනියර් ප්‍රිෆෙක්ට්ලට තිබ්බ බලතල නිසා ඒ කට්ටියගෙ හැසිරීම ඉබ්බට දිරෙව්වෙම නෑ (ඉස්කෝලෙං අවුට් වෙනකම්ම ඒක එහෙමම තිබුනා). සීනියර් ප්‍රිෆෙක්ට් සද්දයක් දැම්මා. දැං කට්ටිය නිහඩයි. මෙන්න බොලේ පූසෙක් ඥාව් ඥාව් ගාගෙන පන්තියෙ ඩෙස්ක් අස්සෙන් යනවා.

සීනියර් ප්‍රිෆෙක්ට්: කෝ මේ පන්තියේ ප්‍රිෆෙක්ට්? (ඉබ්බා නැගිටියි) ආ…පන්තිය බලා ගත්තෙත් නෑනෙ. මේ පූසව පල්ලෙහාට ගිහින් දානව.

ඉබ්බා: ප්‍රිෆෙක්ට්ලා ඉන්නේ පූසො ගිහින් දාන්න යැ? (ඉබ්බට ටිකක් කේන්තිත් ගියා 😦 . ඉබ්බට මේ කැලෑ පූසව උස්සන් යන්න අප්සට් වගේ).

සීනියර් ප්‍රිෆෙක්ට්: එහෙම බෑ. හරියට පන්තිය බලාගෙනත් නෑ. ප්‍රිෆෙක්ට් කෙනෙක් වුනාම ඕන වැඩක් කරන්න ඕනෙ. ගිහින් දානවා(ටිකක් තදින්).

බැරිම තැන ඉබ්බත් ඉතිං කරබාගෙන පූසව උස්සගෙන පහළට ගිහින් දාල ආවා. ඉබ්බගෙ පන්තිය තිබ්බෙ 2වෙනි තට්ටුවේ.ඉබ්බා ආපහු එනකොට ප්‍රිෆෙක්ට් ගිහිල්ලා. කට්ටියගේ ආයෙත් සද්දෙ. ඉබ්බ පන්තිය පේන මානෙට එනකොටම දත කට මැදගෙන ඉබ්බ එනකම් බලා හිටපු පන්තියෙ එකෙක් මහ හයියෙන්

ජැක්සන්…ජැක්සන්…කෝ මේ බළල් තඩියා…කොහාට වුනාද? කියලා කෑ ගැහුවා.

ඕගොල්ලන්ට මතකද ඒ දවස් වල තිබුන හිරුට මුවාවෙන්ද කොහෙද ටෙලි කතාව. ඒකේ කමල් අද්දර ආරච්චිගේ නැන්දට හිටිය කෙනා (නම දැන් මතකෙට එන්නෙ නෑ) ගෙදර පූස් තඩියව හොයන්නේ මෙහෙම කෑ ගගහා. ඒ වාක්‍ය ඛන්ඩේ ඒ දවස් වල බොහොම ජනප්‍රියයි. පන්තියේ හිටපු ඔක්කොම සෙට් එක මහ හයියෙන් බක බක ගාලා හිනා වුනා. එදා ඉදං ඉබ්බගේ කාඩ් එක ජැක්සන්. හැබැයි ජූලි මාසෙ වෙනකම් ඉතරයි. ජූලි මාසෙදි තව වෙන බොහොම ප්‍රසිද්ධ වෙච්ච කාඩ් එකක් වැටුනා ඉබ්බට.

ඉබ්බ A/L කරන කාලෙදි පවා ඉඳලා හිටලා පන්තියේ කට්ටිය මේස අස්සෙ ජැක්සන්…ජැක්සන්…ගගා බළල් තඩියව හෙවුවා 🙂 .