අපේ යාළු සෑම්

මේක නම් දුක හිතෙන කතාවක්. කැමතිනම් ඉතරක් කියවන්න.

ඉබ්බ 10 වසරට පාස් වුනා. ඉබ්බගෙ 10 වසරෙ සර්ගෙ නම අපේ යාළු සෑම්(සෑම්ට ඒ නම දාලා තිබ්බේ ඉබ්බලගෙ ජ්‍යේෂ්ඨ ශිෂ්‍යයෝ).සර් සාමන්‍ය ප්‍රමාණයට උසයි. තලඑලළුයි. කොන්ඩේ කං වැහෙන්න බීට්ල් කට් එක දාල හිටියේ.සර්ට තුබුනා කට පියාගෙන හිනාවෙන විදියක්. සර් ඉගැන්නුවේ විද්‍යාව.සර්ගේ හොර බොරු, කැත ගති කිසිවක් ඉබ්බා කවදාවත් දැකලා නෑ. ඒ දවස් වල සර් මැදි වියේ.  38ක් 40ක් වගේ වෙන්න ඇති.සෑම් ඕනෙ දෙයක් දිහා සාවධානව මධ්‍යස්ථව බැළුවා. කිසිම විටක කාගෙවත් පැත්ත ගත්තෙ නෑ. ශිෂ්‍යයන්ට දඩුවම් කරන්න් ඕන අවස්ථා වලදි නොපැකිළී සුදුසු දඩුවම් ලබා දුන්නා.විහිළු කරන අවස්ථා වලදී ඊට සුදුසු පරිදි හිටියා. සංවේදී වෙන්න උවමනා අවස්ථාවලදී එසේ කළා.

මතක හිටින සිද්ධි කීපයක් නිසා සෑම් ඉබ්බට උගන්නපු ගුරු මාපියන් අතර ඉහළින්ම ඉන්නවා. පළවෙනි එක වුනේ ඉබ්බ 10ට ආපු අළුත.උදේට රෙජිස්ටරේ මාර්ක් කරනකොට හැමදාම එක නමක් ඉස්සරහා කතිරයක් වැටෙනවා. මාස දෙකක් ඉතර මෙහෙම වුනා. පාසල් නොඑන වග ඉස්කෝලෙට දන්වලත් නෑ.සෑම් මේ ළමයව දන්න අඳුනන ළමයි මාර්ගයෙන් විස්තර හොයාගෙන ඒ ළමයගෙ ගෙදරට ගියා. කීප වරක්ම ගියා. පන්තියේ අනෙක් ළමුන්ට යම් යම් විස්තරත් කිවුවා.දැං මේ සිද්ධිය වෙලා අවුරුදු 12කටත් වැඩියි. අද තේරෙනවා සර් එහෙම කිවුවේ අර ළමයට ඉස්කෝලෙ ආවම පන්තියේ සුදුසු පරිසරයක් ඇති කරන්න කියලා. ඉබ්බා ඒ සිද්ධිය ගැන වැඩිපුර කියන්නේ නෑ. නමුත් ඒ යාළුවට යම් මානසික සංකූලතාවක් ඇති වෙලා පාසල් නෑවිත් ඉඳලා.සෑම් ඒ යාළුවා පිළිබඳ සියළු වගකීම් භාර ගත්තා. අන්තිමට මාස 3ක් අවසානයේ යාළුවා ඉස්කෝලෙ ආවා. දිගටම ආවා. O/Lලුත් පස්ස් වුනා. A/L කරන කාලෙ ප්‍රිෆෙක්ට් කෙනෙකුත් වුනා. A/Lලුත් කළා.සර් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නියම මහත්මයෙක්. මේ වගේ දේවල් නොදැක්කා වගේ අහක බලාගන්න සමාජයක සර් කරදර වෙලා වල්මත් වෙන්න හිටි ජීවිතයක් එහෙම් පිටින් ගොඩ දැම්මා.

පන්තිය අතුගාල නැති දාට එහෙම සෑම් කට්ටියට හොඳට ගුටි දුන්නා. ඉබ්බගෙ පන්තියේ හිටියා නංගි මල්ලි කියලා අහින්සක යාළුවෙක්. ගුටි දෙන කොට නංගි මල්ලිත් නැගිටලා අත අල්ලනවා. සර් හිනාවෙලා කියනවා හ්ම්…තමුසෙට ඕනෙ නෑ…තමුසෙ වාඩිවෙනවා(සර්ට හිනා).ඒකටත් හරියන්න අනිත් කට්ටියට හම්බු වෙනවා.10, 11 දෙවසරේම පන්ති භාර ටීචර්ව වෙනස් කරන්නෙ නෑ.

ඉබ්බගෙ පන්තිය සෙක්ෂන් එකේ අන්තිම පන්තිය නිසා ස්ටාෆ් රූම් එක ගාව තමා අවුරුදු 2කම තිබුනේ. නෝ මෑන් යනවා ස්ටාෆ් රූම් එකේ සර් ඉන්නවද බලන්න. ඉන්නවනම් නෝ මෑන් පන්තියේ පිටිපස්සේ පුටුවක ඉඳගෙන, කකුල් 2කකින් පැද්දිලා බිත්තියේ හේත්තු වෙලා, අපේ යාළු සෑම්…සෑම්…අපේ යාළු සෑම්…සෑම් (මතකද ඒ දවස් වල සොසේජස් ඇඩ් එකක් තිබුනා) කියලා කෑ ගහනවා.නෝ මෑන් දන්නවා සර් මේක ඇහිලා කොයි වෙලේ හරි එනවා කියලා.ටික වෙලාවකින් සෑම් අත් දෙකත් පිටිපස්සට බැඳගෙන කොරිඩෝර් එක දිගේ හිමීට එනවා.පන්තියට එළියෙං දැළ ගාවට එන(ඉබ්බලගෙ ඉස්කෝලෙ A/L පන්ති ඇර අනික් පන්ති වල බාග බිත්තියි දැලුයි තමා තියෙන්නෙ)

සර්: නෝ මෑ…ඈ…න්, උඹ මගෙං කන්නයි හදන්නේ…

නෝමෑන්: ආ…සර්…ඇයි සර් සර්ට සෑම් කියන්නෙ?

සර්: ඒක උඹලෑ මහ එවුන්ගෙං අහගනිං. ඒයි, දැං මොනාද තියෙන්නෙ? කෑගහන්නෙ නැතුව පොතක් බලාගන්නවා.

සෑම් යළිත් ස්ටාෆ් රූම් එකට පිය නගයි.

සර්ගේ විද්‍යාව ඉගැන්නිල්ල නියමයි. සර් කිසි දිනක සූදානම් නැතිව පන්තියට ආවෙ නෑ. අදාල පාඩම් නියම දවසටත් කළිං ඉවර වුනා. සර් ඒවා හොඳට පැහැදිලි කළා. 11 වසරේ 6 වෙනි පාඩම ප්‍රජනනය. 11 වසරට ආපු දවසෙ ඉඳං කොල්ලෝ ඒකමයි කියවන්නෙ. සර් පන්තියට ආපු ගමන් හැමදාම නෝ මෑන් අහනවා සර් අද 6වෙනි පාඩම කරමු කියලා.

සර්: හරි හරි පොඩ්ඩක් ඉන්නවා… කියලා දෙන්නම්…පුදුම හදිස්සියක් නේ තියෙන්නෙ (උපහාසයෙන් හීන් හිනාවක් දමයි).

අන්තිමට සර් 6වෙනි පාඩම හැර අනෙක් සියළු පාඩම් ඉගැන්නුව. O/L වලට කලින් තව මොනාවත් පැහැදිලි කරගන්න තියනවාදැයි සර් ඇහුවා.සුපුරුදු විදියට නෝ මෑන් ඇහුවා සර් 6 වෙනි පාඩම උගන්නන්නේ නැද්ද? කියලා.

සර්: ඒකෙ මොනාද ඕයි උගන්නන්න තියෙන්නෙ? තමුසෙලා ආපු දවසෙ ඉඳං ඒකමනෙ කියෙවුවෙ. ඔය මදෑ කියා සිනාසුනා.

නෝ මෑන්: (පොත පෙරළා බලා) මේකෙ බොරුනෙ සර් තියෙන්නෙ

සර්: ආ…හරි හරි… ඕකෙ තියෙන්නෙ බොරු.එතකොට උඹලා කියෝන පත්තර කෑලි වල තමා ඇත්ත ඒවා තියෙන්නෙ (සිනාසෙයි). ඒවෑනෙ ඕයි බොරු තියෙන්නෙ

නෝ මෑන්: සර් කොහොමද දන්නේ ඒවෑ තියෙන්නෙ බොරු කියලා. සර් හොරෙන් කියෙවුවා නේද? (එදා නම් සර් ඇනගත්තා).

වැඩේ වැරදුන නිසා සර් හිනාවක් දාගෙනම ස්ටාෆ් රූම් එකට ගියා. එදා නම් පන්තියේ කට්ටිය හොඳට හිනා වුනා.

11 වසරේදි වෙන පන්තියක හිටපු ශිෂ්‍යයෙක් දිගටම විනය විරෝධී වැඩ වලට අහු වෙලා ඒ පන්තියේ මැඩම් කිවුවා භාරගන්න බෑ කියලා. ඒ ශිෂ්‍යයාගේ ගෙදරිනුත් විරෝධයක් නැති නිසා අන්තිමට අස් කරන තැනට වැඩේ සෙට් වුනා.සෑම් ස්වේච්ඡාවෙන් ඒ ළමයව භාර ගත්තා.

“පවුනේ, අනාගතයක් අඳුරු වෙනවා. ඔහෙ හිටපුදෙං.තව මාස දෙක තුනයිනෙ” සෑම් ඉබ්බලට කිවුවා.ඊට පස්සෙත් මිනිහා ආයිත් විනය විරෝධී වැඩකට අහු වුනා. සෑම් ආයිත් මිනිහව බේර ගත්තා.අහක යන කුණු කියලා වෙන කෙනෙක් නම් අත අරිනවා.

ඉස්සර පන්තියේ තීන්ත ගාන්න රුපියල් 150ක්දෝ කොහෙද හැමෝගෙන්ම එකතු කළා. බල කරළා මුදල් එකතු කරපු ගුරුවරු අතර සෑම් අමාරුකම් තියන වග පෙනුන ශිෂ්‍යයන්ගෙන් මුදල් නොගෙන හිමීන් මග ඇරියා. මේ ඉබ්බට නෝටිස් වුන කීපයක් විතරයි. ඉබ්බ නොදන්න සර් කරපු තව හොඳ වැඩ ඕන තරම් ඇති.

ඉබ්බ සෑම්ගේ හොඳ ගෝලයෙක්. 6 වසරෙ ඉඳලා හැම අවුරුද්දකම පළවෙනි ටර්ම් එක ඉබ්බගෙ සෙල්ලම් ටර්ම් එක. හරි හමං වාර විභාගයක් නැති නිසා ඉබ්බ පාඩම් කරන්නෙ නෑ. ඉතිං ටීචර්ස්ලා හිතං ඉන්නේ ඉබ්බ වැඩ කරන්නේ නැති ළමයෙක් කියලා.ඉබ්බ ගොට්ට අල්ලන්නෙත් නෑ. ඒ කාලේ ඉබ්බගෙ කොන්ඩෙ පොල් මුඩ්ඩක් වගේ. ඉබ්බ අම්බානක් බැණුම් අහනවා කොන්ඩෙට. 2වෙනි වාර පරීක්ෂනේ ලකුණු ආවම තමා ටීචර්ස්ලා දන්නේ ඉබ්බ වැඩ කරනවා කියලා.ඉබ්බ උනන්දුවා කියලා යාළුවෝ නම් දන්නවා.සෑම් කිසිම ගෝළයෙකුට විශේෂයක් කළේ නෑ. ඔක්කොම එකයි.10, 11 වාර පරීක්ෂණ 4න්ම ඉබ්බ පන්තියේ එක.ඒක නිසා සෑම් ඉබ්බත් එක්ක ෆිට්. පන්තියේ යාළුවන්ගේ මාර්ක්ෂීට් අවුරුදු දෙකේම හැදුවේ ඉබ්බ.පිළිවලකට ඔෆිස් වැඩ කරනහැටි මුලින්ම ඉබ්බ ඉගෙන ගත්තෙ එහෙම. ඉබ්බ ඉතිං පන දාගෙන ඒවා ලස්සනට හදලා දෙනවා. පන්තියේ යාළුවන්ගේ රිපොර්ර්ට් වල ලකුණු දාන්නෙත් ඉබ්බා.

ඒ දවස් වල ඉබ්බගෙ පන්තියේ යාළුවෙක් හිටියා චින්තා කියලා.චින්තගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් ඉබ්බලගෙ ඉස්කෝලෙට හෝල්ට් 3ක් එහා තිබුන බාලිකා විද්‍යාලෙයි හිටියේ.ගර්ල් ෆ්‍රෙන්ඩ් පළවෙනියළු. චින්තගෙං බර බරේ උගේ රිපෝර්ට් එකේ පළවෙනියා කරලා දියං කියලා.ඒකෙ තියෙන්නෙත් ඉබ්බගෙ අකුරුනෙ.අම්ම්ලා තාත්තලාට පෙන්නලා ඉවර වුනාට පස්සෙ ඉබ්බ හිමීට ඒක කරලා දුන්නා.චින්තා ඉබ්බට නොවැන්ද ටික ඉතරයි.චින්තා නම් දැං බැඳලා. හැබැයි අර පළවෙනියමද දන්නෙ නෑ.11 වසරෙන් සමු ගන්න කොට ඉබ්බලා පොඩි පාර්ටියකුත් දැම්මා. O/L වලින් පස්සෙ සර් ඉබ්බගේ විද්‍යාව නෝට් පොත් ඔක්කොම ඉල්ල ගත්තා.ඉබ්බලෑ පන්තියේ ඉබ්බ, පැටී, හෙට්ටියා, චිකන්, මීයා ඇතුළු තව කට්ටිය හොඳට පාස් වුනා.

කාලෙ ගෙවිලා ගියා. A/Lලුත් ඉවර වුනා. හොඳට පාස් වුන අය අතර සර්ගේ ගෝලයොත් හිටියා.සමහරු තෘතීය අධ්‍යාපනේ ලැබුවා. සමහරු රස්සාවල් වලට ගියා. ඉබ්බත තෘතීය අධ්‍යාපනේ ලබලා රස්සවකට ගියා. ඉබ්බා ට්‍රේනිං කාලෙ කණගාටුදායක ආරන්චියක් ආවා.විස්තරේ කිවුවේ මීයගේ හොඳ යාලුවෙක් වෙච්ච තලේ.තලේගෙ අම්මා ඉබ්බලගෙ ඉස්කෝලෙමයි ඉගැන්නුවේ.සෑම්ට බඩවැලේ කැන්සර් එකක් වැළඳිලා. එක ඔපරේෂන් එකක් කරළා. සර් දන්නේ නෑලු කැන්සර් කියලා. දැං වීවේකයෙන් ගෙදර ඉන්නවා කියලයි කියවුනේ. ඉබ්බට හරි කණගාටුයි. ඇයි සර්ටම ඉබ්බට එහෙම හිතුනා.

කොහොම හරි ඉබ්බයි, තලෙයි, මීයයි, වෙන්ගයි ගියා සර්ව බලන්න ගෙදරට. පුෂ්ටිමත්ව හිටපු සර් කෙට්ටු වෙලා, මලානික වෙලා. එක පාරට ක්ෂණයෙන් වයසට ගිහින් වගේ. ඉබ්බට කනගාටු හිතුනා.සර් සුපුරුදු විදියට හිනා වෙලා ඉබ්බලව පිළිගත්තා. සර් කට්ටියගෙ විස්තර අහලා සතුටු වුනා.ඉබ්බත් එක්ක හිටපු මුනි ගැනයි නින්ජා ගැනයි සර් ඇහුවා. මන්දෙවත් සර්ට අමතක වුනේ නෑ. O/L වලින් තුම්මුල්ලේ ඉස්කෝලෙට ගිය චිකන්වත් සර් ඇහුවා.

“මේ බඩවැලේ පොඩි ගෙඩියක් ඇවිල්ලා. ඔච්චර කිලෝමීටර් ගානක් වැඩක් නෑනෙ. කපලා දැම්මා. දැං හරි. නොකා නොබී ඉස්කෝලෙට වැඩ කරලා ඕක තමා වුනේ. පහුගිය දවස් වල සෙක්ෂනල් හෙඩ් වුනානෙ.දැං ඒවයින් අයින් වෙලා ඉන්නෙ.කරපු ඒවටත් හරි යන්න දැන් විවේක අරං තමා යන්නෙ” එහෙම කියලා සර් හිනා වුනා.

ඉබ්බට ඒ වචන තාමත් එකෝ වෙනවා වගේ ඇහෙනවා. ඒ වෙන කොටත් තලේ කියලා තිබ්බෙ හොඳ කරන්න අමාරු වග. මෙහෙම මනුස්සයෙකුට මේ වගේ වෙච්ච එකට ඉබ්බට හරිම කේන්තියි.ඒ කේන්තිය කාත් එක්කද කියලා ඉබ්බට තේරෙන්නෙ නෑ.

ඒ දවස් වල ඉබ්බා කිරි ඉබ්බිත් එක්ක යාළුවෙලා ඉන්න කාලෙ. කිරි ඉබ්බිලගේ ගෙදරින් ගියා අභයගිරි දාගැබ ප්‍රතිසංස්කරණය කරන ශ්‍රමදානෙකට. ඉබ්බත් එකතුවුනා. ගලිගමුව හරියෙදි ඉබ්බට කෝල් එකක්. කෝල් එක නින්ජගෙන්.

නින්ජා:ඉබ්බ මචං, උඹ කොහෙද ඉන්නෙ?

ඉබ්බා:මම මේ අනුරාධපුරේ යන ගමන්. ගලිගමුව හරියෙ.

නින්ජා: පොඩි සීන් එකක් කියන්න කතා කළේ. සෑමා නැති වෙලා. (මද විරාමයක්…) උඹට එන්න පුළුවං වෙයිද?

ඉබ්බා: එන්න ඕනෙ.මම කොහොම හරි එනවා…

ඒත් ඉබ්බට ඒකට කල් වේලා ඇතුව එන්න බැරිවුනා. ඉබ්බ අත ගහපු අනික් වැඩේ දාල එන්න බැරි වුනා. ඉබ්බට හරිම කණගාටුයි.තව ගොඩක් ජීවිත එළි පෙහෙළි කරන්න හිටි සර් අකාලයේම සමුගත්තා. ඒත් සර්ගේ පෞරුෂය හා අවංක මනුස්ස ගති නිසා සර් තාමත් අපේ හිත් වල නොමැරී ජීවත් වෙනවා.සර්ගේ ගෝලයෝ එකතු වුනු වෙලාවල් වල අනිවාර්යයෙන් සර්ව මතක් කරනවා. අපි අද යම් යහපත් වැඩක් කරනවනම් අපිට ආදර්ශයෙන් ඊට ඔවදන් දීපු අපේ යාළු සෑම්ටත් ඒ ගෞරවයෙන් කොටසක් හිමිවිය යුතුයි.

සර්,

ඔබේ ගෝලයෝ යම් යහපත් වැඩක් කරයිද ඒක ඔබට උපහාරයක්ම වේවා!

හොඳ මිනිස්සු ඉක්මනටම යනවා.

ඔබට නිවන් සුව!

රූපං ජීරති මච්චානං-නාම ගොත්තං න ජීරති

රූපය දිරයි නාමය නොදිරයි