ලොවෙත් නෑ…ලොවි ගහෙත් නෑ…ගහ යටත් නෑ… – ඉලංදාරියා

හ්ම්… මේ පෝස්ට් එක නම් මෙතන තියන අනිත් පෝස්ට් වලට වඩා ගොඩාක් වෙනස් වෙයි. මම ඉතිං හාවා හඳ දකිනවා වගේ දැං ලියන්නෙ මේ බ්ලොග් එක ඉතරක් නිසා මේ ලිපියත් මෙතනම දාන්න හිතුනා.මේක සතුටින් ලියන පෝස්ට් එකක් නම් නෙවෙයි. හිතේ අමාරුවට ලියන එකක්.

ඉබ්බා ගොඩාක් කල් හරියට බ්ලොග් එක ලිවුවෙ නෑනෙ. විවිධ හේතු නිසා. මේ ටික දවසින් පස්සෙ ආයිත් ගොඩාක් විට එහෙම වෙයි. ඉතිං මේ ගිය සඳුදා ඉබ්බා සමනළ තටු එක ආයිත් කියෙවුවා. ලියලා තියන ඒවා අවුලක්මත් නෑ කියලා ඉබ්බට හිතුනා. ලිපියක් දෙකක් කියෝනකොට කමෙන්ට්සුත් බලන්න ඕනෙ කියලා ඉබ්බට හිතුනා. එක ලිපියක තිබ්බා මෙන්න මෙහෙම කමෙන්ට් එකක්. ‘ලොවෙත් නෑ… ලොවි ගහෙත් නෑ… ගහ යටත් නෑ…’. ලියලා තිබ්බේ පරණ යාළුවෙක්.

ඉබ්බට ගිය අවුරුද්දෙත් හොඳටම වැඩ තියන අස්සේ පොඩි වෙලාවක් ආවා බ්ලොග් අවකාශෙ කරක් ගහන්න. අම්මටසිරි, දැං කට්ටිය දියුණුයි නොවැ කියලා ඉබ්බට හිතුනා. ඉබ්බා ගියා දුකා අයියා බලන්න, තව රන්දිල් අක්කා, පූසො සෙට් එක, හා පැටික්කී, පලා මල්ලෙ පිස්සා ආදී එකී නොකී මතක අමතක පුළුවන් කට්ටියව බලන්න ආවා (ඒ ගොල්ලො නම් දන්නෙ නෑ මගෙ හිතේ). සමහරුන්ගෙ ඇනෝනිමස් ස්ටේටස් එක ගිහිල්ලා. කට්ටිය බ්ලොගර් ගෙට් ටුගෙදරුත් තියලා.හප්පා… ගොඩක් දුර ගිල්ලනෙ කියලා ඉබ්බට හිතුනා. ඊට පස්සෙ තමා ඉබ්බා සයිඩ් බාර් වල, පරණ පෝස්ට් වල තියන දුක හිතෙන විස්තරයක් දැක්කෙ. ඒ විස්තරේ තිබ්බෙ ඉලංදාරියා ගැන. ඉලංදාරියා තමා ලොවි ගහේ කමෙන්ට් එක දාලා තිබ්බෙ. ඒක නිසා ඉබ්බගේ මතකය මෑත අතීතයට යන්න පටං ගත්තා.ඇහෙන් දැකලා නැතිවුනත්, ජීවිතේටම කතා කරලා නැති වුනත් ඉබ්බා ඉලංදාරියාව හොඳට දන්නවා. බ්ලොග් ලියන්න ආපු කාලෙ කොච්චර හැපනිං නමක් හැටියටද තිබ්බෙ. ඉබ්බා ඒ බ්ලොග් එකට ගියා, මේ බ්ලොග් එකට ගියා. හැම බ්ලොග් එකේම තිබ්බ ඒ ලිපිය, එහෙම නැත්තං පොඩි දුක හිතෙන නෝටිස් එක, එහෙමත් නැත්තං ඔළුව කැරකෙන ලෙවල් එකෙං ලියලා තිබ්බ කවිය එතකොට තමා ඉබ්බට පේන්න පටං ගත්තෙ.

ඉබ්බට කණගාටුව ටිකක් වැඩි වෙන්න තව හේතුවක් තිබ්බා. ඉබ්බට දවසක් මේල් එකක් ආවා. ඒකෙ තිබ්බෙ ඉලංදාරියට පොඩි සප් එකක් දෙමු කියලා. ඉබ්බා ඔක්කොම විස්තර ටික කොලේක ලියලා දා ගත්තා පර්ස් එකේ. මාස 6කටත් වඩා යනකං ඒ කොලේ තිබ්බා පර්ස් එකේ. ලෝකෙ තිබ්බ අනිත් ඔක්කොම වැඩ වෙනුවෙන් වියදම් කරන්න ඉබ්බට සල්ලි තිබ්බා. ඒත් මේකට සල්ලි තිබ්බෙ නෑ.අනුංගේ ඇද පේනවා මිසක් අපේ ඒවා පේන්නෙ නෑ නොවැ.

ඉබ්බා ගියා ඉලංදාරියගේ බ්ලොග් එකට අන්තිම ලිපිය තිබ්බෙ අප්‍රේල් මාසෙ. ඊට මාසෙකට දෙකකට පස්සෙ යාළුවා අපෙන් ඈත් වෙලා තිබ්බා. ඊට පස්සෙ ඉබ්බා දැක්කා බ්ලොග් අවකාශයේ හිටපු නියම මිනිස්සු ඉලංදාරියා වෙනුවෙන් ගොඩාක් මහන්සි වෙලා තිබ්බා.ඒ පින් ඒ ඒ අයට ලැබෙයි. ඉබ්බා හිටියේ මර නින්දේ.

සමනළ තටු පටං ගනිද්දි මට හිතුනා වෙන කවුරුත් නොකියෙවුවත් මම වත් නාකි වෙලා මේක බලලා සතුටු වෙයිනේ කියලා. බලාගෙන ගියාම මම ඇර මේවා කියෝන සෙට් එකකුත් ඉන්නවනෙ බොලේ දැං. ඉතිං, මම මේ ආපු බ්ලොග් ගමනෙ අමතක නොවෙන නමක් ඉලංදාරියා. ඕනෙ වෙච්ච වෙලාවේ මට සප් එකක් දෙන්න බැරි වුනා. ඒ වුනාට මට ඒ නම හැමදාම මතකයි. මතක තියාගන්න වටින කොල්ලෙක් නිසා ගොඩාක් ප්‍රමාද වෙලා හරි මම මේ සටහන තියන්න හිතුවා. මට මේක දැං නම් ලියන්නම ඕනෙ කියලා හිතුනේ මම මේ ඊයේ පෙරේදා වෙනක්ම නොදැන හිටපු, ඒත් සමුගත්තට පස්සෙ දැනගෙන බ්ලොග් එකට ගියාම සිරා පොරක් කියලා තේරිච්ච ඔබා මාමාගෙ කනගාටුදායක ප්‍රවෘතිය දැක්කට පස්සෙ. ඔබා මාමගෙ සම්පූර්ණ බ්ලොග් සුවිසැරියම ඉබ්බට මිස් වුනා.

හ්ම්ම්… කවුරු හරි දාලා ගියාම ඒක ගැන හිතලා කළකිරෙනවා. ඊට පස්සෙ දර්ශනේ පහළ වෙනවා. ආයිත් දවස් කීපෙකිං අමතකයි. ඉස්සර විදියටම ජීවිතේ ඔහේ ගලා යන්න පටං ගන්නවා.සමහර යාළුවෝ නෑදෑයෝ උන්නද මලාද කියලවත් හෙන කාලෙකිං හොයලා බලලා නෑ. මතකයන් විතරක් ඔහේ හිතේ තියනවා. අනේ මන්දා. ඒ කොහොම වුනත් සමනළතටු දාපු කාලෙ ඉඳලම නිතර ආව ගිය, බ්ලොග් අවකාශෙ ලකුණක් තියපු ඉලංදාරියා සහෘදයාව හැමදාම මතක් වෙන්න ඉබ්බගෙ 50 වෙනි පෝස්ට් එක වෙන් වුනා.ඉස්සර අපි ආසාවෙන් බලපු රොබින් හුඩ් එකේ කෝට් එකකින් කවදාවත් නොදුටු බ්ලොග් යාළුවෙක්ගේ මතක සැමරුම් ලිපිය ඉවර කරන්න හිතුනා.

Nothing’s forgotten. Nothing is ever forgotten.

මීට කළිං ඉබ්බා එකම එක දුක හිතෙන ලිපියක් ලියලා තියනවා සමනළ තටු එකේ. ඉබ්බා කැමතිම සර් ගැන. ඉබ්බට ආයිත් එකම එක දෙයක් කියන්න හිතුනා. හොඳ මිනිස්සු ඉකමණටම යනවා. ඉලංදාරියා, ඉතිං අපි නැවත හමුවෙමු. හමු වෙලා මකා දමා මේ ලෝ තලය, නැවත පින්තාරු කරමු මීට වඩා වෙනස් ලස්සන විධියකට.

Advertisements