උගත් කමට සරිලන රැකියාවක් ලැබුනෙ නැතෙයි?

ඔන්න ඉතිං ඉබ්බත් විශ්වවිද්‍යාලෙ ගිහිං ඉවර වෙලා හා හා පුරා කියලා රස්සාවකට ගියා. මේක ඉතිං මෘදුකාංග රස්සාවක්. විශ්වවිද්‍යාලෙ ගිය විදියටම තමා ඇඳුම පැළඳුම. ටී ෂර්ට් එකයි ඩෙනිමයි වෙනසකට කියල තිබ්බෙ බාටා බෝල බෝල රබර් සෙරෙප්පු දෙක වෙනුවට සැන්ඩ්ල්ස් දෙක. ඒ මදිවට ඉබ්බා අර ඒ දවස් වල තිබ්බ පොඩි පටිය වගෙ පිටේ එල්ලන් යන බෑග් එකකුත් අරගෙන තමා රස්සාවට ගියේ. රස්සාව කරන කොම්පණියෙන් උදේ හවා ට්‍රාන්ස්පෝර්ට් දෙනවා. හැබැයි ඒක ඉබ්බා ඉන්න තැනින්ම ගියේ නෑ. පොඩ්ඩක් මෙහායින් බැහැලා හෝල්ට් තුනක් ඉතර පයින් යන්න ඕනෙ.

ඔන්න සුපුරුදු පරිදි ඉබ්බා හවස 6.20ට ඉතර බැස්සා වෑන් එකෙන්. අඩි කීපයක් යනකොට කවුදෝ පිටි පස්සෙන් සූ සූ ගෑවා. ඉබ්බා ඒ ලෙවල් කරන කාළෙ කුඩු කාරයෙක් ඉබ්බව නුගේගොඩදි සුද්ද කළා සූ සූ ගාලා. ඒක නිසා බයටම ඉබ්බා බැළුවෙ නෑ කවුද මේ සූ සූ ගාන්නෙ කියලා. ටික වෙලාවකින් අප්පුඩියකුත් ගැහුවා. ඉබ්බ නෙවෙයි බැළුවේ. බීරා වගෙ යනවා දැං. මෙන්න එකපාරට කියාපි මේ ළමයෝ කියලා. ඒ පාර නම් තලතුනා කටහඬක්. ඉබ්බා නැවතුනා ඒ පාර. නැවතිලා බැලුවා පිටිපස්ස. හප්පේ, ස්වාමීන්වහන්සේ නමක්. බොහොම දුරබැහැර කෙනෙක් පාටයි. බැලූ බැල්මට පෙනුනා බොහොම දුක් කම්කටොලු විඳලා ඇති පාට. ස්වාමීන්වහන්සේ අඩිය ඉක්මන් කරළා එනවා ඉබ්බව අල්ලගන්න.

ස්වාමීන්වහන්සේ: මේ ළමයෝ නුගේගොඩට යන්න බස් එක ගන්නෙ කොතනින්ද?

ඉබ්බා: ආ හාමුදුරුවනේ, මාත් එක්ක මෙහෙම යමු. තව ඉස්සරහ තියෙන්නෙ ඔන්න ඔතනින් හැරුනාම. මම පෙන්නන්නං.

ස්වාමීන්වහන්සේ දැං ඉබ්බා එක්ක ඇවිදගෙන යනවා.

ස්වාමීන් වහන්සේ: ඔය ළමයා තාම ඉගනගන්නවා වෙන්ටෑ?

(යකෝ මම මෙ කැම්පසුත් ගිහිල්ලා රස්සාවකටත් ගිහිං ඉන්නෙ. ඉබ්බට පොඩ්ඩක් කැම්පස් උණත් ආයි මතක් වුනා. ස්වාමීන් වහන්සේ මගුලක් කතා කරනවා)

ඉබ්බා: නෑ හාමුදුරුවනේ, මම විශ්වවිද්‍යාලේ ගිහිං ඉවර වෙලා මේ රස්සාවක් කරනවා.

හාමුදුරුවෝ ටුක් කාලා නැවතුනා (හරියටම අර මේට්‍රික්ස් ෆිල්ම් එකේ වගේ. දැං කැමරා එක අපි දෙන්නා වටේට කැරකෙනවා. කැමරා එක වමට 60ක් ගිහිං ආයි දකුණට 120ක් යනවා.) ස්වාමීන්වහන්සේ බැලුවා ඉබ්බගේ පාදාන්තේ ඉඳලා කේෂාන්තේ දක්වා මාර බැල්මක්. ආයි ඒක උඩ ඉඳලා පහළට රිපීට් කළා.

ස්වාමීන්වහන්සේ: ආහ්, ඉතිං ළමයෝ උගත් කමට සරිලන රැකියාවක් තවම ලැබුනෙ නැතෙයි?

(කිරි අප්පට බල්ලො පැනපි. දීපංකො උත්තර). ඉබ්බා බැලුවා ළඟ පාත කාණුවක් වත් කපලා තියනවද කියලා බහින්න. නොදකිං. කොහෙද මේ නගරසභාව අපිට ඕනෙ තැන්වල කාණු කපන්නෙ නෑනෙ. ස්වාමීන්වහන්සේට ඉතිං සොෆ්ට්වෙයාර් රස්සා ගැන කියලා දෙන්න බැරි නිසා ඉබ්බා කට පියාගෙනම ස්වාමීන්වහන්සේව බස් හෝල්ට් එකට ඇරලවලා ඉතුරු හෝල්ට් දෙක පයිංම ආවා. ඇයි යකෝ ස්වාමීන්වහන්සේ එක්ක බස් එකේ නැගලා තව හෝල්ට් දෙකක් ගියොත් එහෙම මොනවා අහයිද දන්නෙ නෑ නෙ.කලිසමත් නැතුව ගෙදර යන්න වෙන පොටක් තමා.

මාළු වගේම තමා, ඉබ්බත් නහින්නෙ කට නිසා 😀

Advertisements

ශ්‍රී වික්‍රම රාජසිංහ

ඔන්න ඉබ්බා සාමාන්‍ය පෙළ කරන කාලෙ.ඉබ්බගෙ ඒ දවස් වල හොඳම යාළුවෝ දෙන්න තමා නින්ජයි මුනියි. ඉබ්බලගේ ඉතිහාසය පීරියඩ් එක වෙලාව. ඉතිහාසය ඉගැන්නුවේ චාර්ලි සර්.සර්ට චාර්ලි කියලා දාලා තියෙන්නෙ ඉබ්බලගෙ ඉස්කෝලෙ කළිං හිටපු සහෝදරයෝ තමා. ඒ දවස් වල 10 වසරේ ඉතිහාසෙ පොත පටං ගන්නකොටම වගේ තියනවා චාර්ලිමේන් කියලා අධිරජ්‍යයෙක් ගැන. චාර්ලි සර් මේ අධිරජ්‍යයා ගැන කියන්න ගිහිං තමා කාර්ඩ් එක හදාගෙන තියෙන්නෙ. සර් 10 වසරෙ සෙක්ෂනල් හෙඩ්. ඒකත් මේ අධිරජ්‍යවාදී නමට හේතු වෙන්න ඇති.

ඔන්න සර් ප්‍රශ්නයක් ඇහුවා.

සර්: හොඳයි… කියන්න බලන්න අනුරාධපුර රාජධානිය ආක්‍රමණය කරපු දකුනු ඉන්දියානු රජෙක් ගේ නමක්… කෝ දන්න අය අත උස්සන්න.

(ඉබ්බට සර් අහපු ප්‍රශ්නෙ හරියටම මතක නෑ.ඒත් ඔය වගේ ප්‍රශ්නයක් තමා ඇහුවෙ.)

මෙන්න යකෝ කවදාවත් නැතුව මුනියත් අත උස්සගෙන ඉන්නවා…ඉබ්බට නම් ෂුඅර් මුනි මේකට උත්තරේ දන්නෙ නෑ කියලා. සර් පන්තිය පුරා බලයි. ළමයි භාගයක් පමණ අත උස්සාගෙන සිටිති.සර් බලලා බලලා පන්තියේ මැද හරියේ ඇස් රඳවයි.

rajasingheසර්: හා… කියන්න බලන්න ඔයා…

හත් වලාමයි… චාර්ලි ඍජුව අත ඔසවාගෙඅ සිටින මුනිව පෙන්වයි. මුනි කෙළින් නැගිට සිටියි.වීරයා සේ හඩ අවදි කර මහ හඩින්…

මුනි: ශ්‍රී වික්‍රම රාජසිංහ

(ඩෝං පටෝං චට පටාස් චුස් බුස් ඩිම්ම්ම්ම්….ඉබ්බටත් නින්ජටත් කට පියාගෙන බඩ පැළෙන්න හිනා…)

සර්: ආහ්… ශ්‍රී වික්‍රම රාජසිංහ? ඔයා නම් පොත බලලම නෑ…

මුනි ෂේප් එකේ වාඩි වෙයි (වෙලාවට සර් එදා හොඳ මූඩ් එකක හිටියෙ. නැත්තම් මුනිය ගුටිත් කනවා. මුනියගෙ නරක වෙලාව තමා.ඌ හිතලා නෑ සර් ඌවම පෙන්නයි කියලා…හිහ්…)

සර්: වෙන කවුරු හරි කියන්න… වෙන කෙනෙක්…

කවුදෝ හරි උත්තරය දෙයි.එදා පීරියඩ් එක ඉවර වෙනකම් ඉබ්බා හිටියේ පුදුම අමාරුවෙං.පීරියඩ් එක ඉවරුවනාම මුනිට වෙච්ච හරිය හිතා ගන්න පුලුවන් නෙ.

එදා පටං මුනිට තව කාර්ඩ් එකක් වැටුනා ශ්‍රී වික්‍රම රාජසිංහ….! නින්ජා නම් තාමත් ඉඳලා හිටලා මුනියට කතා කරන්නෙ ඒයි…රාජසිංහ කියලයි.හිහ්… 😀

අපේ තාත්තගෙ දුවෙක්…

ඔන්න සුපුරුදු පරිදි දවසක් ඉබ්බයි ඔෆිස් එකේ යාළුවො ටිකයි ගියා දවල්ට කන්න. ඒ දවස් වල ඉතිං වැඩිපුරම කලේ කන ගමං කතා කරන එක නෙවෙයි කතා කරන ගමං කන එක. හිහ්…ප්රධාන වැඩේ කන එක නෙවෙයි කතා කරන එක.කතාවෙං කතාව කැරකිලා කැරකිලා ආවා ටියුෂන් කතාවක්.පන්ති ගියපු සර්ලා ගැන කතාව ඇදිලා ආවා කළුවා ගාවට.

බ්රහ්මයා: අපෝ ඕකා මහ මැර ඩයල් එක. දන්නවද? බැන්දෙ ක්ලාස් ආපු හෙන පොඩි කෙල්ලෙක්ව.ඒකත් බලෙන්ම වගේ තමා බැන්දෙ.

ජුන්ඩා: කවුද බං කෙල්ල?

බ්රහ්මයා: අපේ තාත්තගෙ දුවෙක් (කිරි අප්පට බල්ලො පැනපි…)

ඉබ්බා: ඈහ්…දැං ඔය සීන් එක උඹලගෙ අම්මා දන්නවද? උඹලගෙ තාත්තට දුවෙක් ඉන්නව කියලා?

(බ්රහ්මයට අපි දන්න තරමිං හිටියෙ මල්ලි කෙනෙක් ඉතරයි.අක්කා කෙනෙක් වත් නංගි කෙනෙක් වත් නෑ)

සීන් එක බලනකොට බ්රහ්මයට හදිස්සියට දිව පැටලිලා වචනයක් හැලිලා.බුවාට කියන්න ඕනෙ වෙලා තියෙන්නෙ අපේ තාත්තගෙ යාළුවෙක්ගේ දුවෙක් කියලා.යාළුවා හැලිලා.හිහ්..හිහ්…තව පොඩ්ඩෙන් අලි ජරමරයක් වෙන්නෙ උංගෙ අම්මා දැනගත්තා නම් එහෙම :D.

daughter

විනිවිදිමි වීදුරුව…

සිරිපාල තමා ඉබ්බගෙ ක්ෂීරපථ විද්‍යාලෙ ඉඳලම යාළුවා. සිරිපාල ගැන ඉබ්බා කලිනුත් ලියල තියනවා. සිරිපාලගෙ සම්පූර්ණ නම ශෝන් සිරිපාල. සිරිපාල පොෂ් ලලනාවියන්ට බැල්ම හෙලනකොට අපි ශෝන් කියලා කතා කරනවා. ඒ ලෙවල් එකට නොහිටියොත් වැඩේ කර ගන්න බෑනෙ. දෙකේ කොලේට දාලා බයිට් කරන්න ඕනෙ වුනාම නිකම්ම නිකං සිරිපාල වෙනවා.

සිරිපාල ක්ෂීරපථ විද්‍යාලෙට ඇවිත් මුලින්ම සෙට් වුනේ අතඋඩයි, චම්ලියි, බ්‍රහ්මයයි එක්ක. සිරිපාල ඒ කාලෙ නිකං ප්‍රොෆෙසර් කෙනෙක් වෙයි වගෙ තමා හිටියෙ. ඉබ්බත් බැළුවා කවුද යකෝ මේ හෙන විද්වත් සාකච්ඡා පවත්වන බුවා කියලා.කොහොම කොහොම හරි සිරිපාලයා ඉබ්බට සෙට් වුනා. ඒක තමා සිරිපාලයගෙ අවසානය. පාප මිත්‍ර සේවනය. ප්‍රොෆෙසර් කෙනෙක් වෙන්න හිටපු සිරිපාලයගේ ගමන ඔක්කොම කඩා කප්පල් වුනා.

ඉබ්බයි සිරිපාලයි මුලින්ම වැඩට ගියෙත් එකම කොම්පැනියකට. එතන ඉතිං දවල් කෑමට කැෆේ එකට යනවා. එකතු වෙලා දවල් කෑම කන 10ක ඉතර සෙට් එකක තමා ඉබ්බයි සිරිපාලයිත් හිටියේ. ඔන්න සිරිපාල ඉබ්බට ටිකකට කලින් බෙදා ගෙන ඉඳ ගන්න අනිත් කට්ටිය ඉන්න තැනට යනවා. ඉබ්බත් බෙදාගෙන ඉවර වෙලා බැළුවා කෝ සිරිපාල කියලා. සිරිපාල කඩාගෙන බිඳගෙන අනිත් යාළුවෝ ඉන්න ටේබල් එකට තියන කෙටිම මග ඔස්සේ ගමන් කරනවා. සිරිපාල එහෙම තමා. හෙනට ප්‍රොසෙස් කරළා ඔප්ටිමම් විදියට තමා වැඩ කරන්නෙ.

එක පාරටම පොඩි ඩප්පියක් ගැහුව වගේ පටෝර් ගෑවා.මුළු කැෆේ එකේම හිටපු මිනිස්සු උඩ ගිහින් සද්දෙ ආපු පැත්ත බැලුවා.හත් ඉලවුවයි.සිරිපාලයා අර සුපර් මෑන් බිත්ති අස්සෙන් කන්නාඩි දාලා බලනවා වගේ කෑම පිඟානත් අරන් වීදුරුවකින් එහාට යන්න ගිහින්.

කෑම බාගයක් උගේ ඇඟේ, කාලක් වීදුරුවේ, ඉතුරු ටික පිඟානත් එක්ක බිම. එක පාරට කඩි ගුලක් ඇවිස්සුනා වගේ කිචන් එකේ වැඩ කරන මිනිස්සුයි, වේටර්ලයි ඇයි ඇයි සර් මොකද වුනේ… සර්ට තුවාලද අරකද මේකද කිය කිය දුවගෙන එනවා සිරිපාල ගාවට. උන් සිරිපාලව පිහිදනවා. එක වැඩයි.ඉබ්බා හිමීන්සීරුවේ සිරිපාලව දන්නෙ නෑ වගේ එතනින් ගිහින් අනිත් කට්ටිය ඉන්න ටේබල් එකෙන් ඉඳගත්තා (පාප මිත්‍රයෝ කියන්නෙ නිකං යැ).

දැං කට්ටිය කතාව. අප්පා… සිරිපාලයා අදත් අපේ ටේබල් එකට එයිද? එහෙම වුනොත් ලැජ්ජාවේ බෑ බං කිය කිය කනවා.මෙන්න යකෝ විනාඩි 5 කින් ඉතර මුකුත් වුනේ නෑ වගේ තවත් දඩාර බත් එකක් බෙදාගෙන සිරිපාලය ඇවිත් ඒ ටේබල් එකෙන්ම වාඩි වෙන්න. අනිත් කට්ටිය ඔක්කොම එතන සිරිපාලයා නෑ වගේ මූණු ඔබාගෙන බත් කනවා. කැෆේ එකේ අනිත් කට්ටියගේ අවධානය අයින් වෙනකම් ඉඳලා ටේබල් එකේ වාඩි වෙලා ඉන්න සිරිපාලයගෙන් ජුන්ඩා අහනවා මොකක්ද බං උඹ ඒ කරන්න හැදුවෙ කියලා. සිරිපාලයා කියනවා ඌ හිතුවේ එතන වීදුරු දොරක් තියනවා කියලළු. ඒකළු ඌ ඒක ඇතුලෙන් යන්න හැදුවේ.

ඉබ්බා නම් හිතුවේ අර ඉස්සර කතාවක් තිබ්බෙ සමනල්ලු පියාඹගෙන ගිහින් සිරීපාදෙ ඔළුව ගහගෙන මැරෙනවා කියලා. අන්න ඒ වගේ සිරිපාලත් ඔෆිස් එකේ වීදුරුවක ඔළුව ගහගෙන මැරෙන්න හදනවා කියලයි.හිහ්… 😀

ආ… එහෙනං මට දෙන්න පැණි කජු එකක්…

ඉස්සර ඉබ්බ කාලයක් හිටියෙ ඇහැළ මාවතේ ඔෆිස් එකක. එතනම එහා පැත්තෙ පොඩි කඩයක් තිබ්බා. දවල්ට කොහේ හරි කඩේකිං ජරාව කාලා අතුරුපසට මේ කඩෙං මොනා හරි නොකෑවොත් ඉතිං පුදුම අඩුවක් තිබ්බෙ :). ඔන්න දවසක් සරායි, ඉබ්බයි, හෝගි අයියයි, රමායි ගියා මේ කඩේට අතුරුපසට යමක් කන්න.

සරා: අංකල්, මොනාද තියෙන්නෙ. යෝගට්? අයිස්ක්‍රීම්?

අංකල්: අයිස්ක්‍රීමුයි යෝගටුයි තියනවා.

සරා: යෝගට් කමු නේද?
ඉබ්බා සහ හෝගි අයියා දෙස බලයි. ඉබ්බාත් හෝගි අයියාත් ඔළුව වනයි.

රමා: උඹලා ගනිංකො. මම ගන්නං.

සරා: අපිට දෙන්න යෝගට් 3ක්

රමා: පැණි කජු තියනවද?

අංකල්: පැණි කජු නෑ

රමා: ආ… එහෙනං මට දෙන්න පැණි කජු එකක්… (දීපංකො උත්තර… හිහ්… 😀 )

අර කතාවක් තියෙන්නෙ හාවෙක් හාඩ්වෙයාර් එකකිං කැරට් ඉල්ලපු. රමා ඒ හාවගේ ළඟම නෑයෙක් කියලා අපි තීරණය කළා… 😀

« Older entries