ෆාතිමා

අවුරුද්දෙං භාගෙකුත් ගියා. දැං ඉබ්බට අටේ දෙවන වාර පරීක්ෂණේ. ඉබ්බගේ පන්තියට අල්ලපු පන්තිය දෙමළ මාධ්‍ය පන්තියක්. මෙන්න බොලේ දවසක් ඉබ්බට වඩා බාලයි වගේ පේන ගෑණු ළමයෙක් කොරිඩෝර් එක දිගේ ඇවිදගෙන යනවා. ඉබ්බගේ ඉස්කෝලෙ ඉතිං මිශ්‍ර පාසලක් නෙමෙයිනෙ. ගෑණු ළමයෙක් ඉස්කෝලෙට ආවා කියන්නේ කට්ටියට ඉතිං මාර චූන් 😛 . දැං කට්ටිය කොක්කු වගේ බෙලි දික් කරගෙන තුෂ්ණිම්භූත වෙලා බලාගෙන ඉන්නවා.

බැලින්නම් එහා පන්තියේ මැඩම් එයාගේ දුවව එක්කන් ඇවිල්ලා. කොහොම කොහොම හරි කතා කැරකිලා ඇවිල්ලා ඉබ්බවත් අල්ලලා කතාවක් හැදුනා. දැං කට්ටිය මේ ළමයගෙ නමවත් දන්නේ නෑ. කවුදෝ එකෙක් නමක් දැම්මා ෆාතිමා කියලා(මට හිතෙන්නේ හොර අලියා වෙන්න ඕනා). දැං ෆාතිමා දිගටම අම්මත් එක්ක හැමදාම එනවා. ෆාතිමා ඉගෙන ගත්තේ ඉබ්බලගේ ඉස්කෝලේ පේන දුරින් තිබුන අන්තර්ජාතික ඉස්කෝලෙක. ෆාතිමා එනකොට යාළුවෝ ඉබ්බට ලයින් දෙනවා. ටික දවසකින් ෆාතිමා කොරිඩෝර් එක දිගේ යනකොට යාළුවෝ ඉබ්බට හයියෙන් ෆාතිමා කියලා කතා කරනවා. බලන්න ඕනා ඒ දවස්වල කට්ටියගෙ වැඩ. ෆාතිමා එනකොට දඟලනවා, සද්ද දානවා, එක විකාරයයි(දැං මතක් වෙනකොට හිනාත් යනවා 🙂 ). කොහොම හරි ඉබ්බට ෆාතිමා කියලා කාඩ් එක වැටුනා.

ඒ දවස් වල තරුණ වයසේ හිටිය සිංහල උගන්නපු ඉබ්බලගේ අරලිය මැඩමුත් හිටපු ගමන් ඉබ්බට ෆාතිමා කියලා කතා කළා(මැඩම් ඉබ්බලගේ පන්තියත් එක්ක ෆිට). ෆාතිමා ගැන විස්තර හොයාගෙන එන අනෙක් පන්ති වල යාළුවන්ට ඉබ්බගේ යාළුවෝ තත්වේ පැහැදිලි කරලා දුන්නා. ඒකෙං මේකෙං ඉබ්බා ෆාතිමා කියලා සෑහෙන ප්‍රසිද්ධියට පත් වුනා.

ඉබ්බට ෆාතිමා කාඩ් එක වැටිලා දැං අවුරුදු 15කටත් කිට්ටුයි. තාමත් කලාතුරකින් මග තොටේදි ‘ෆාතිමා’ කියලා කතා කරනවා ඇහිලා හැරිලා බැලුවම ඒ කාලෙ පන්තියේ හිටපු යාළුවෙක්  හිනා වේගෙන ඉස්සරහට එනවා. ඔන්න ඔහොම තමා ඉබ්බ ෆාතිමා වුනේ. හොර අලියනම් තාමත් ඉබ්බට කියන්නේ ‘ෆාති’ කියලා.

ෆාතිමා කාඩ් එක නිසා ඉබ්බගේ ජැක්සන් කාඩ් එක හිමීට සමනය වෙලා ගියා 🙂 .

Advertisements