උගත් කමට සරිලන රැකියාවක් ලැබුනෙ නැතෙයි?

ඔන්න ඉතිං ඉබ්බත් විශ්වවිද්‍යාලෙ ගිහිං ඉවර වෙලා හා හා පුරා කියලා රස්සාවකට ගියා. මේක ඉතිං මෘදුකාංග රස්සාවක්. විශ්වවිද්‍යාලෙ ගිය විදියටම තමා ඇඳුම පැළඳුම. ටී ෂර්ට් එකයි ඩෙනිමයි වෙනසකට කියල තිබ්බෙ බාටා බෝල බෝල රබර් සෙරෙප්පු දෙක වෙනුවට සැන්ඩ්ල්ස් දෙක. ඒ මදිවට ඉබ්බා අර ඒ දවස් වල තිබ්බ පොඩි පටිය වගෙ පිටේ එල්ලන් යන බෑග් එකකුත් අරගෙන තමා රස්සාවට ගියේ. රස්සාව කරන කොම්පණියෙන් උදේ හවා ට්‍රාන්ස්පෝර්ට් දෙනවා. හැබැයි ඒක ඉබ්බා ඉන්න තැනින්ම ගියේ නෑ. පොඩ්ඩක් මෙහායින් බැහැලා හෝල්ට් තුනක් ඉතර පයින් යන්න ඕනෙ.

ඔන්න සුපුරුදු පරිදි ඉබ්බා හවස 6.20ට ඉතර බැස්සා වෑන් එකෙන්. අඩි කීපයක් යනකොට කවුදෝ පිටි පස්සෙන් සූ සූ ගෑවා. ඉබ්බා ඒ ලෙවල් කරන කාළෙ කුඩු කාරයෙක් ඉබ්බව නුගේගොඩදි සුද්ද කළා සූ සූ ගාලා. ඒක නිසා බයටම ඉබ්බා බැළුවෙ නෑ කවුද මේ සූ සූ ගාන්නෙ කියලා. ටික වෙලාවකින් අප්පුඩියකුත් ගැහුවා. ඉබ්බ නෙවෙයි බැළුවේ. බීරා වගෙ යනවා දැං. මෙන්න එකපාරට කියාපි මේ ළමයෝ කියලා. ඒ පාර නම් තලතුනා කටහඬක්. ඉබ්බා නැවතුනා ඒ පාර. නැවතිලා බැලුවා පිටිපස්ස. හප්පේ, ස්වාමීන්වහන්සේ නමක්. බොහොම දුරබැහැර කෙනෙක් පාටයි. බැලූ බැල්මට පෙනුනා බොහොම දුක් කම්කටොලු විඳලා ඇති පාට. ස්වාමීන්වහන්සේ අඩිය ඉක්මන් කරළා එනවා ඉබ්බව අල්ලගන්න.

ස්වාමීන්වහන්සේ: මේ ළමයෝ නුගේගොඩට යන්න බස් එක ගන්නෙ කොතනින්ද?

ඉබ්බා: ආ හාමුදුරුවනේ, මාත් එක්ක මෙහෙම යමු. තව ඉස්සරහ තියෙන්නෙ ඔන්න ඔතනින් හැරුනාම. මම පෙන්නන්නං.

ස්වාමීන්වහන්සේ දැං ඉබ්බා එක්ක ඇවිදගෙන යනවා.

ස්වාමීන් වහන්සේ: ඔය ළමයා තාම ඉගනගන්නවා වෙන්ටෑ?

(යකෝ මම මෙ කැම්පසුත් ගිහිල්ලා රස්සාවකටත් ගිහිං ඉන්නෙ. ඉබ්බට පොඩ්ඩක් කැම්පස් උණත් ආයි මතක් වුනා. ස්වාමීන් වහන්සේ මගුලක් කතා කරනවා)

ඉබ්බා: නෑ හාමුදුරුවනේ, මම විශ්වවිද්‍යාලේ ගිහිං ඉවර වෙලා මේ රස්සාවක් කරනවා.

හාමුදුරුවෝ ටුක් කාලා නැවතුනා (හරියටම අර මේට්‍රික්ස් ෆිල්ම් එකේ වගේ. දැං කැමරා එක අපි දෙන්නා වටේට කැරකෙනවා. කැමරා එක වමට 60ක් ගිහිං ආයි දකුණට 120ක් යනවා.) ස්වාමීන්වහන්සේ බැලුවා ඉබ්බගේ පාදාන්තේ ඉඳලා කේෂාන්තේ දක්වා මාර බැල්මක්. ආයි ඒක උඩ ඉඳලා පහළට රිපීට් කළා.

ස්වාමීන්වහන්සේ: ආහ්, ඉතිං ළමයෝ උගත් කමට සරිලන රැකියාවක් තවම ලැබුනෙ නැතෙයි?

(කිරි අප්පට බල්ලො පැනපි. දීපංකො උත්තර). ඉබ්බා බැලුවා ළඟ පාත කාණුවක් වත් කපලා තියනවද කියලා බහින්න. නොදකිං. කොහෙද මේ නගරසභාව අපිට ඕනෙ තැන්වල කාණු කපන්නෙ නෑනෙ. ස්වාමීන්වහන්සේට ඉතිං සොෆ්ට්වෙයාර් රස්සා ගැන කියලා දෙන්න බැරි නිසා ඉබ්බා කට පියාගෙනම ස්වාමීන්වහන්සේව බස් හෝල්ට් එකට ඇරලවලා ඉතුරු හෝල්ට් දෙක පයිංම ආවා. ඇයි යකෝ ස්වාමීන්වහන්සේ එක්ක බස් එකේ නැගලා තව හෝල්ට් දෙකක් ගියොත් එහෙම මොනවා අහයිද දන්නෙ නෑ නෙ.කලිසමත් නැතුව ගෙදර යන්න වෙන පොටක් තමා.

මාළු වගේම තමා, ඉබ්බත් නහින්නෙ කට නිසා 😀

Advertisements

මන්දෙ ඔය මොකද කරන්නෙ මම අම්මට කියනවා…

මේවා අමු අමුවේ මෙහෙම කියන්නත් නිකං මොකක්ද වගේ. දැං ඉතිං ඉස්කෝලෙං අවුට් වෙලත් අවුරුදු 16ක් වෙච්ච එකේ දැං මේවයේ කතා නායකයන්ගේ කතෲ අයිතිය පබ්ලික් වෙලා ඇති කියලා හිතලා කියලා දානවා.

දවසක් මන්දෙ ඉතිං යටට අඳින්නෙ නැතුව (එහෙම තමා ඉතිං කතාවෙ කියවෙන්නෙ) ඉස්කෝලෙ ඇවිල්ලා. පිටි පස්සෙම පේළියට වෙලා කලිසමේ සිප් එක උඩිං අත ගගා ඉන්නවලු. මන්දෙලාගෙ ක්ලාස් ටීචර් හරිම හොඳයි. අරණායක මැඩම්. මේක බලං ඉන්න බැරිම තැන අරණායක මැඩම් කිව්වලු

මන්දෙ, ඔය මොකද කරන්නෙ මම අම්මට කියනවා

කියලා. මන්දෙගේ අම්මා ඒ දවස් වල ඉස්කෝලෙ ඒ ලෙවල් පන්ති වලම ඉගැන්නුවා.

මන්දෙ සේරම පැත්තක තියලා ඒ විදියටම සිප් එක අතිං මිරිකගෙන නැගිටලා ඩෙස්ක් එක උඩිං යූ එකක් ගහලා නැමිලා බලනවලු ඌ කරන වැඩේ ඩෙස්ක් එක යටිං මැඩම්ට පේනවද කියලා. කීප පාරක් මන්දෙ බැළුවාලු මේක ඩෙස්ක් එක යටිං හරියටම පේනවද කියලා. වටේ පිටේ වාඩි වෙලා හිටපු එවුන් අමාරුවෙන් හිනාව නවත්තගෙන හිටියාලු.

ඔවු මම එයාට එහෙම තමා ඉන්න කියලා තියෙන්නෙ

ඔන්න ඉතිං මේක ආදි කාලෙ ඉබ්බගේ ඉස්කෝලේ යාලුවෝ සෙට් එකකට වෙච්ච කතාවක් (හත් ඉලව්වේ, ඉබ්බත් දැං සෑහෙන වයසට ගිහිල්ලනෙ). ඉබ්බට මතක විදියට මේ සෙට් එකෙ මන්දෙත් හිටියා. ඔන්න කට්ටිය නුගේගොඩ ඒ ලෙවල් ටියුෂන් පන්තියක් ඉවර වෙලා නැග්ගාලු මහරගම පැත්තට යන 138 බස් එකක. ෂා… ලස්සන ගෑනු ළමයෙක් ඉන්නවලු බස් එක මැද හරියෙ සීට් එකක වාඩි වෙලා. දැං ඉතිං කට්ටියට හරිම කිචි වගේලු. ගිහින් එතන අහල පහළ වටේට හිට ගත්තලු. දැං පොඩි පොඩි විහිලු කතා හයියෙන් කිව්වට ගෑනු ළමයාගෙන් නෝ රෙස්පොන්ස් ලු. බීරියි වගේ ඉන්නවලු. මූණෙ කිසිම එක්ස්ප්‍රෙෂන් එකක් වත් නැති නිසා කට්ටියම දැං ෆුල් මානසිකව වැටිලා දණිස් තුවාල වෙලා ඉවසීමත් අන්තිමට ආවලු.

එකෙක් ඇහුවලු

මේ නංගි, අපි මොනා හරි කියනකොට ඔයාට අම්ම කුඩෙත් ඔඩොක්කුවේ තියං ඔහොමද ඉන්න කියල තියෙන්නෙ

කියලා. කෙල්ල ඒත් සද්දයක් නෑලු. ක්ෂණයකින් එතනම පිටි පස්සෙ සීට් එකේ ඉඳගෙන හිටපු ඇන්ටි මහ හයියෙන් කිව්වලු

ඔවු මම එයාට එහෙම තමා ඉන්න කියලා තියෙන්නෙ

කියලා. ඊළඟ හෝල්ට් එකේ බස් එක නවත්තන්නත් කලින් සෙට් එකම බැහැලා ඌර්ධවපාතනය වුනාලු.

මොකද මේ චර්ච් එකක් බෙල්ලෙ එල්ලගෙන?

ඉබ්බා ඉස්සර වැඩ කරපු ඔෆිස් එකේ යාළුවෙක් තමා මේවා කිවුවෙ.යාළුවට වැඩ බැරි වුනාට ගම ගාල්ලෙ.හිහ් හිහ්.යාළුවාට අපි කියමුකො සනා කියලා. සනාට වැඩත් පුලුවං.දැං බුවා එතන ලොක්කෙක්. කොහොමහරි… මේවා නිකං ජෙනරල් තියන කතා මම හිතන්නෙ.ඒවුනාට ඒවා සනායි සනාගෙ යාළුවොයි ඒගොල්ලො ගිය ඉස්කෝලෙ ප්‍රින්සිපල්ට සෙට් කරළා තමා තියෙන්නෙ.

සනා ගිහින් තියෙන්නෙ ගාල්ල මිහිඳු පාසලට. ඔන්න දවසක් ඉස්කෝලෙ නිවාඩු දවසක කොල්ලො සෙට් එකක් ඉස්කෝලෙ ඇවිත්ළු වැඩ වගේකට. දන්නෙ නැද්ද ඒ කාලෙ ඉතිං ඉස්කෝලෙ වැඩක් කිව්වම කසනවා වගෙනෙ.ගෙදර ඉන්නම බෑනෙ.එළියට බැහැපු ප්‍රින්සිපල් දැක්කළු මේ සෙට් එක.


churchප්‍රින්සිපල්: ආ.. පුතාලා මොකද මේ පැත්තෙ?

ළමයි: මේ පොඩි වැඩ වගේකට ආවා සර්

එතන හිටපු එක ශිෂ්‍යයෙක් කුරුස පෙන්ඩන්ට් එකක් සහිත මාලයක් පැළඳ සිටින බව ප්‍රින්සිපල් දකියි.

ප්‍රින්සිපල්: ආ… මොකද මේ චර්ච් එකක් බෙල්ලෙ එල්ලගෙන?

හහ්හා…. (චර්ච් එකක් බෙල්ලෙ එල්ල ගත්තා නම් කොල්ලා එතනම චර්ච් එකට යට වෙලා මැරෙනවා… 😀 )

සනා තව කතාවක් කියනවා ප්‍රින්සිපල් ගැන.ඔන්න මිහිඳු පාසලේ ශිෂ්‍ය නායකයෝ එකතු වෙලා තර්ටි ෆස්ට් නයිට් පාර්ටි එකක් සංවිධානය කළාළු.දැං ප්‍රින්සිපල්ටත් ඉන්වයිට් කරන්න එපැයි. කට්ටිය ගියාළු දෙසැම්බර් මාසෙ මැද හරියෙ දවසක ප්‍රින්සිපල්ව හම්බු වෙන්න.

ප්‍රින්සිපල්: ආ… මොකද පුතාලා?

ශිෂ්‍යයෝ: සර් මේ තර්ටි ෆස්ට් නයිට් පාර්ටියට සර්ට ආරාධනා කරන්න ආවා. සර් එහෙනං එනවනෙ?

ප්‍රින්සිපල්: හා… බොහොම හොඳයි.මම අනිවාර්‍රයෙන් එනවා.

ශිෂ්‍යයෝ: එහෙනං අපි යන්නං සර්.

ප්‍රිෆෙක්ට්ස්ලා ටික ආපසු හැරී මද දුරක් යයි.

ප්‍රින්සිපල්: ස්… ස්…. පුතා… පුතා…

ශිෂ්‍යයෙක්: ඇයි සර්?

ප්‍රින්සිපල්: ඉතිං කිවුවෙ නෑනෙ කවද්ද දවස කියලා…

හහ්හා…. දීපංකෝ උත්තර…. 😀

ශ්‍රී වික්‍රම රාජසිංහ

ඔන්න ඉබ්බා සාමාන්‍ය පෙළ කරන කාලෙ.ඉබ්බගෙ ඒ දවස් වල හොඳම යාළුවෝ දෙන්න තමා නින්ජයි මුනියි. ඉබ්බලගේ ඉතිහාසය පීරියඩ් එක වෙලාව. ඉතිහාසය ඉගැන්නුවේ චාර්ලි සර්.සර්ට චාර්ලි කියලා දාලා තියෙන්නෙ ඉබ්බලගෙ ඉස්කෝලෙ කළිං හිටපු සහෝදරයෝ තමා. ඒ දවස් වල 10 වසරේ ඉතිහාසෙ පොත පටං ගන්නකොටම වගේ තියනවා චාර්ලිමේන් කියලා අධිරජ්‍යයෙක් ගැන. චාර්ලි සර් මේ අධිරජ්‍යයා ගැන කියන්න ගිහිං තමා කාර්ඩ් එක හදාගෙන තියෙන්නෙ. සර් 10 වසරෙ සෙක්ෂනල් හෙඩ්. ඒකත් මේ අධිරජ්‍යවාදී නමට හේතු වෙන්න ඇති.

ඔන්න සර් ප්‍රශ්නයක් ඇහුවා.

සර්: හොඳයි… කියන්න බලන්න අනුරාධපුර රාජධානිය ආක්‍රමණය කරපු දකුනු ඉන්දියානු රජෙක් ගේ නමක්… කෝ දන්න අය අත උස්සන්න.

(ඉබ්බට සර් අහපු ප්‍රශ්නෙ හරියටම මතක නෑ.ඒත් ඔය වගේ ප්‍රශ්නයක් තමා ඇහුවෙ.)

මෙන්න යකෝ කවදාවත් නැතුව මුනියත් අත උස්සගෙන ඉන්නවා…ඉබ්බට නම් ෂුඅර් මුනි මේකට උත්තරේ දන්නෙ නෑ කියලා. සර් පන්තිය පුරා බලයි. ළමයි භාගයක් පමණ අත උස්සාගෙන සිටිති.සර් බලලා බලලා පන්තියේ මැද හරියේ ඇස් රඳවයි.

rajasingheසර්: හා… කියන්න බලන්න ඔයා…

හත් වලාමයි… චාර්ලි ඍජුව අත ඔසවාගෙඅ සිටින මුනිව පෙන්වයි. මුනි කෙළින් නැගිට සිටියි.වීරයා සේ හඩ අවදි කර මහ හඩින්…

මුනි: ශ්‍රී වික්‍රම රාජසිංහ

(ඩෝං පටෝං චට පටාස් චුස් බුස් ඩිම්ම්ම්ම්….ඉබ්බටත් නින්ජටත් කට පියාගෙන බඩ පැළෙන්න හිනා…)

සර්: ආහ්… ශ්‍රී වික්‍රම රාජසිංහ? ඔයා නම් පොත බලලම නෑ…

මුනි ෂේප් එකේ වාඩි වෙයි (වෙලාවට සර් එදා හොඳ මූඩ් එකක හිටියෙ. නැත්තම් මුනිය ගුටිත් කනවා. මුනියගෙ නරක වෙලාව තමා.ඌ හිතලා නෑ සර් ඌවම පෙන්නයි කියලා…හිහ්…)

සර්: වෙන කවුරු හරි කියන්න… වෙන කෙනෙක්…

කවුදෝ හරි උත්තරය දෙයි.එදා පීරියඩ් එක ඉවර වෙනකම් ඉබ්බා හිටියේ පුදුම අමාරුවෙං.පීරියඩ් එක ඉවරුවනාම මුනිට වෙච්ච හරිය හිතා ගන්න පුලුවන් නෙ.

එදා පටං මුනිට තව කාර්ඩ් එකක් වැටුනා ශ්‍රී වික්‍රම රාජසිංහ….! නින්ජා නම් තාමත් ඉඳලා හිටලා මුනියට කතා කරන්නෙ ඒයි…රාජසිංහ කියලයි.හිහ්… 😀

« Older entries